tangalle-fisheman-deaths

තංගල්ල ධීවර වරායෙන් ඉකුත් 4 වෙනිදා මුහුදු රැකියාවට ගිය බහුදින ධීවර යාත්‍රාවක් සිටි ධීවරයන් පිරිසක් මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ විදෙස් මත්පැන් බෝතල කිහිපයක් පානය කිරීමෙන් පසු යාත්‍රාවේ ගමන් කළ 04 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති අතර දෙන්නෙකුගේ තත්වයද බරපතල බව වාර්තා වෙයි.
“ඩෙවෝන්” නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා තිබේ.


ධීවර යාත්‍රාව නාවික සැතපුම් 317 ක් දුර ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියදී අද (29) දා මෙම සිදුවීමට මුහුණපා ඇති අතර මේ වන විට යැවූ වෙනත් ධීවර යාත්‍රාවකින් ඔවුන් ගොඩට රැගෙන එමින් පවතින බව වාර්තා විය.ඩෙවෝන් 5 ධීවරයාත්‍රාවේ හිමිකරුට අයත් ඩෙවෝන් 2 ධීවර යාත්‍රාවෙන් රෝගී ධීවරයන් පිරිස ගොඩබිම කරා රැගෙන එමින් පැවතෙන නමුත් එහි වේගය අඩු නිසා දින 2 ක් පමණ ගතවන බව කියැවේ.
නමුත් නවික හමුදාව මැදිහත්වන්නේ නම් ඊට පෙර ඔවුන් ගෙන ඒමට හැකි බව ධීවරයින් දන්වා ඇත.


අසාධ්‍ය තත්ත්වයේ පසුවන ධීවරයන් හැකි ඉක්මනින් ගොඩට රැගෙන ඒමට මැදිහත් වන ලෙසට බල කරමින් අද පස්වරුවේ මාතර කතරගම මාර්ගය තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් හරස් කර ප්‍රදේශවාසීහු පිරිසක් උද්ඝෝෂණයකද නිරත වූහ.නාවික හමුදාව ධීවරයන් ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු කරන බවට පොලිසිය පැවසූ පසු ධීවරයින් විසිර ගියහ.
ස්කිපර්වරයා ලෙස කටයුතු කළ තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ පදිංචි එම්.ජේ.නයනකාන්ත නමැති 42 හැවිරිදි ධීවරයා සිදුවීම නිසා මුලින්ම මියගියේය.එම ධීවර යාත්‍රාවේ ගමන් ගත් එම්.ටී. සුජිත් සංජීව (32), පී.ඩී. ජයසූරිය (23) ටී.බී සුජිත් කුමාර (43), ආර්.බී.ජී ප්‍රදීප් නිශාන්ත (34), ජී.එම්. අජිත් කුමාර (56), යන ධීවර කාර්මිකයින් අසධ්‍ය තත්ත්වයේ පසුවෙමින් ඇති අතර ඒ අයගෙන් තුන් දෙනෙක්ද දැන් මියගොස් ඇත.ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මෙසේ කියයි.



“වෛද්‍ය කණ්ඩායම් පණිවුඩ හුවමාරු යන්ත්‍රය භාවිත කරමින් ප්‍රථමාධාර ලබාදෙනවා.මේ වනවිට නාවික සැතපුම් 320කට වැඩි දුරකින් ජාත්‍යන්තර මුහුදේ තමයි මේ යාත්‍රාව තිබෙන්නේ. දැනට ගොඩබිමට ගමන් කරන වේගය පැයකට නාවික සැතපුම් 07කට ආසන්න වේගයක්. ඒ කියන්නේ දවස් දෙකට ආසන්න කාලයක් ගොඩබිමට පැමිණීමට ගතවෙනවා. ජීවිත බේරාගැනීමයි වැදගත්. අපිට ගොඩබිම සිට යාත්‍රාවක් යැවීමට ප්‍රමාණවත් කාලයක් නැහැ. ඔවුන් ඉතා ගැඹුරු මුහුදේ ඉන්නේ. ඒ අසල ගමන් කරන වෙනත් නෞකාවකට ඔවුන් ගොඩ කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. දැනට තොරතුරු වාර්තා වෙන්නේ මෙම ධීවරයන්ට හමුවූ බෝතල්වලින් කොටසක් ඒ අවට තිබූ අනෙක් යාත්‍රාවලට බෙදාදී තිබෙන බව. තවත් කුමන යාත්‍රාවක හෝ මේ බෝතල් තිබෙන්න පුළුවන්. අපි ඒ ගැනත් දැන් දැනුවත් කරමින් යනවා.”