tangalle-incident

පොලිසිය කළ නියෝගයකට අවනත වෙමින් රියැදුරකු මෝටර් රථයෙන් බැස සිටියදී, රථය ඉදිරියට ධාවනයවීම නිසා එය නවත්වා ගැනීමට රියැදුරා දිව ගොස් තිරිංගය යැයි සිතා වැරදීමකින් ඇක්සලේටරය පෑගීමෙන් රථය වේගයෙන් ඉදිරියට ඇදී ගොස් පොලිස් නිලධාරියකුගේ ගැටීමෙන් ඔහු විසි වී ගොස් අසල නවතා තිබූ ටිපරි රථයක වැදී තුවාල ලබා තංගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.මෝටර් රථය පදවා ගෙන රියැදුරා ද මෙහිදී තුවාල ලබා ඇති අතර ඔහු ද එම රෝහලට ඇතුළත් කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවැසීය.



මෙය කලාතුරකින් සිදුවන විරල ගණයේ රිය අනතුරක් යැයි පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක්ම පැවැසූහ. තංගල්ල කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු මාර කොල්ලිය මරු වංගුව යන නමින් හැඳින්වෙන ස්ථානයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදී සැක කටයුතු මෝටර් රථයකට නවත්වන ලෙස සංඥා කර ඇත.පොලිසිය කළ නියෝගයට අවනත වෙමින් රියැදුරා මෝටර් රථය මාර්ගයේ පසෙකට වන්නට නතර කර එයින් බැස තිබෙන බව පොලිසිය කියයි.

වාහනය ඉදිරියට ඇදිමින් තිබෙනවා දුටු රියැදුරා වහා මෝටර්රථය අසලට ගොස් කලබලයට පත්ව තිරිංගයැයි සිතා ඇක්සලේටරය පෑගීම නිසා මෝටර් රථය වේගයෙන් ඉදිරියට ඇදී ගොස් රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයාගේ ගැටී ඇතැයි මූලස්ථාන පොලිසියේ නිලධාරියා වැඩිදුරටත් කියයි. මෝටර් රථයේ ගැටුණු සැරයන්වරයා විසිවී ගොස් මාර්ගය ආසන්නයේ නතර කර තිබූ ටිපර් රථයක වැදී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

රථයේ රියැදුරා ඒ මොහොතේම අත්අඩංගුවට ගත් අතර ඔහු තුවාල ලබා සිටි නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් ගත කරනු ලැබ සිටී.

රියැදුරා මෝටර් රථය නතර කර එයින් බැස එන අවස්ථාවේ නිසි ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා එය ඉබේම ඉදිරියට ධාවනය වී ඇති බව පරීක්ෂණවලින් පෙනී ගියේ යැයි පොලිසිය පැවැසීය. මෝටර් රථය ද පොලිස් භාරයට ගනු ලැබීය. අත්අඩංගුවට ගැනුණ මෝටර් රථයේ රියැදුරා මාතර, දික්වැල්ල හිරිකැටිය  ප්‍රදේශය පදිංචිකරුවෙකි.තංගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය