thalangama-death-unexpected-husband

 මිතුරා සමඟ එක්ව බිරිය මරා එය නොදැන සිදුවූ ඝාතනයක් බවට පැමිණිල්ලක් කර පොලිසිය නොමඟ යැවීමට උත්සාහ කළ මියගිය කාන්තාවගේ සැමියා සහ තවත් අයෙකු සිද්ධියෙන් දින හතරකට පසුව සැකපිට 10 දා රාත්‍රී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ තලංගම උද්‍යාන මාවතේ තාවකාලිකව පදිංචිව සිටි තාරුකා නදී කුමාරි නමැති 31 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.

මෙම කාන්තාව සිය සැමියා සමඟ තලංගම උද්‍යාන මාවත ප්‍රදේශයේ කුලී නිවෙසක වාසය කර ඇති අතර සැමියා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවීම නිසා දෙදෙනා අතර නිරන්තරයෙන් බහින් බස් වීම් ඇතිව තිබේ. මේ අතරතුර දී මත්ද්‍රව්‍ය පානයට ඔහුගේ මිතුරකුද සම්බන්ධ වී ඔහු නිතර නිතර නිවසට යාමට ඒමට පුරුදුව සිටීම නිසා එම බහින් බස්වීම් තීව්‍ර වී ඇති බව පොලිසිය කියයි.

මේ අතර ඉකුත් 06 දා සවස මිතුරා සමඟ නිවෙසට පැමිණි අවස්ථාවේදී බිරිඳ සැමියා සමග බහින් බස්වීමක් හටගෙන ඇති අතර ඊට සැමියාගේ මිතුරාද සම්බන්ධ වී ඇය සමග ගැටුමක් හටගෙන තිබේ. පසුව මිතුරා නිවසේ තිබූ තියුණු ආයුධයක් ගෙන බිරියගේ හිසට ගෙලට හා ස්ථාන කිහිපයකට පහරදී බරපතළ තුවාල සිදුකොට ඇගේ සැමියා සමඟ නිවසේ දොරගුළු ද දමා හිඟුරක්ගොඩ ප්‍රදේශයට පලාගොස් තිබේ.
ඝාතනයෙන් දින හතරකට පසුව (10) දා රාත්‍රී යළි නිවසට පැමිණ ඒ ගැන තිසිවක් නොදන්නා ආකාරයට රඟපාන්නට මොවුන් දෙන්නා කටයුතු කර තිබේ.
එසේ එනවිට එම කාන්තාව ඝාතනය වී සිටිනු දැක දෙදෙනා බිය වු බවට කතාවක් ගොතා තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්ෂිත මහතා හමුවී ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර තිබේ.
පසුව පොලිස් නිලධාරී කණ්ඩායමක් ඝාතන සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කොට ඇත. ඒ වනවිටත් සිරුර දුගඳ හමමින් තිබු බව පොලිසිය පවසයි.
බිරිය තනිව සිටි වෙලාවේ කිසියම් අයෙකු පැමිණ ඝාතනය කරන්නට ඇති බවට සැමියා පැමිණිලි කරත් යම් යම් කරුනු වල නොගැළපීමක් තිබී ඇති අතර

සැමියාගෙන් සහ මිතුරාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔවුන් ලබාදෙන පරස්පර ප්‍රකාශ නිසා සැකසිතී අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඝාතනය ඔවුන් විසින් සිදුකළ බවට පොලීසිය හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබේ.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් (සොකෝ) පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පැමිණ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතව තිබුණි. ඝාතනය සිදුවන අවස්ථාවේදී අඹුසැමි යුවළ නිවසේ සුරතලයට ඇති කළ සුනඛයා බැඳ දමා තිබී ඇති අතර සිද්ධියෙන් පසුව දින පහක් පමණ සුනඛයා නිරාහාරව සිට ඇතැයි වාර්තා වන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැමියා ගලේවෙල පදිංචි 42 හැවිරිදි මිතුරා යන දෙන්නාම අධික ලෙස මත්ද්‍රව්‍ය ලබාගන්නට ඇබ්බැහිවී ඇති අය වන අතර ඔවුන්ගේ කටයුතු වලට බාධාවන ලෙස කාන්තාව හැසිරීම නිසා ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.  දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.