thalangama-woman-death

 ‘තලංගම ගාර්ඩන්ස්’ හි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවසක් තුළ තිබී  පසුගියදා කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් පොලිසියට හමුව තිබුනේ එම කාන්තාව තම බිරිය බවත් නිවසට තමන් ටික දිනකින් පසු එනවිට ඇය මරාදමා තිබී හමුව තිබූ බවට සැමියා කළ පැමිණිල්ලක් ප්‍රකාරවය.
මිතුරා සමඟ එක්ව බිරිය මරා එය නොදැන සිදුවූ ඝාතනයක් බවට පැමිණිල්ලක් කර තිබූ බව මරණය සම්බන්ධ විමර්ශනයේදී සැක මතුව තිබූ අතර සිද්ධියෙන් දින හතරකට පසුව සැකපිට 10 දා සැමියා හා මිතුරා අත්අඩංගුවට පත්විය. තාරුකා නදී කුමාරි නමැති එක්දරු මවක වූ 31 හැවිරිදි කාන්තාවක මෙලෙස මියගියාය.


විමර්ශන නිලධාරින් එම ස්ථානයට ගොස් ඇත්තේ ‘තලංගම ගාර්ඩන්ස්’ හි පිහිටි නිවෙසේදී තමාගේ උපදෙස් මත සිය මිතුරා විසින් බිරිඳ මරා දමා ඇති බවට කෝසල මධුසංඛ නමැති 31 හැවිරිදි අයකු තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සචිත් ලක්ෂිතට ලබාදුන් තොරතුරකට අනුවය. තමා මේ පිළිබඳව පොලිසියට පවසන්නේ මෙම අපරාධය අනාවරණය වීමෙන් පසු තමාට සිරගතවීමට සිදු වේයැයි ඇතිවූ බිය නිසා බවද හෙතෙම පොලිසියට සඳහන් කර තිබේ.

එම තොරතුරෙන් පසුව තලංගම පොලිසියට මධුසංඛට අමතරව එකී මිතුරාව ද කැඳවා තිබුණේ ප්‍රශ්න කිරීම සඳහා ය. ඔවුන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනයේ සියලු තතු හෙළිව තිබිණි.

සිය බිරිඳගේ දෝෂාරෝපණ හා මැදිහත්වීම් ඉවසා ගත නොහැකිවූ සැමියා සැකකාර මිතුරා ද යොදාගෙන මෙම අහස පොළොව නුහුලන අපරාධය සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව පොලිසිය අදාළ නිවෙසේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කර ඇත.

එම අවස්ථාවේදී මෙම මළ සිරුර සොයාගෙන තිබිණි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උකුවෙල, උකුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තාරුකා නදී කුමාරි නමැති 31 හැවිරිදි රූමත් කාන්තාවකි. නිරුවත්ව තිබූ මළ සිරුරෙන් වම් අත කපා වෙන් කර දමා තිබිණි. ඊට අමතරව හිස ද දෙකඩ වන ලෙස ප්‍රහාර එල්ලවී තිබිණි. එසේම ඇයගේ පාදයේ ද කැපුම් තුවාල ද දැකගත හැකි විය. දින පහක් තිස්සේ වසා දමා තිබූ එම නිවසේ වෙසෙන සුනඛයා ද නිවස තුළම ගැට ගසා තිබු බැවින් නිරාහාරව අසනීප තත්ත්වයෙන් සිටි බව පොලිස් නිලධාරිහු පැවසූහ.

මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී සිදුකළ අතර, හිසට සිදුවූ කැපීම් තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බව එහිදී අනාවරණය විය.

ඒ අනුව ඝාතනය මෙහෙයවූ සැමියා හා ඊට ආධාර අනුබල දෙමින් ඝාතනය සිදුකළ මිතුරා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක්වූ තාරුකා සිය සැමියා වන මධුසංක හා දරුවා සමග හෝමාගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇත. ව්‍යාපාරිකයකු වූ සැමියාට හිතවත් වූ මෙලෙන්කඩවල ප්‍රදේශයේ සිට කොළඹට පැමිණි කුලී වැඩවල නිරත වන සම්පත් නමැත්තකු මෙම පවුල සමග සම්බන්ධ වී තිබුණේ වසර අටකට පෙර සිටය. එම නිවසේ ඇතැම් වැඩකටයුතු පවා කර ඇත්තේ සම්පත් විසිනි. සම්පත් සහ මධුසංඛ යන දෙදෙනාම අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින දෙදෙනකු බවද පොලිසිය පැවැසීය. වසර කිහිපයකට පෙර සිටම තාරුකා ඊට දැඩි විරෝධය පළකර ඇති අතර, සම්පත් නැමැත්තාට ද අවස්ථා රැසකදීම ඇය ඒ සම්බන්ධයෙන් බැණ වැදීම් පවා සිදුකර තිබිණි.

හෝමාගම පිහිටි නිවසේ තීන්ත ආලේප කිරීමේ කොන්ත්‍රාත්තුව ද වරක් සම්පත්ට ලබාදී තිබේ. ඒ සඳහා ගෙවිය යුතු මුදල වැඩ අවසන් කිරීමෙන් පසුව ද තාරුකා විසින් සම්පත්ට ලබා දී නැතැයි පැවසේ.

පසුව එය මධුසංඛ හා තාරුකා අතර පවුල් ආරවුලක් දක්වාම දුරදිග ගොස් ඇත.

මධුසංඛ හා තාරුකා අතර මෙලෙස වරින් වර ඇතිවන පවුල් ආරවුල් හේතුවෙන් තාරුකා දිසා අධිකරණයේ නඩුවක් පවා පවරා තිබුණේ සැමියාගෙන් දික්කසාදය හා නඩත්තු මුදල් ඉල්ලමිනි.

තවද සැමියා විදේශගත වී තමන් අසරණ කරනු ඇතැයි බියෙන් ඇය සැමියාට එරෙහිව ගුවන් ගමන් තහනමක් ද ලබාගෙන තිබුණේ සම්පත්ගේ කෝපය දෙගුණ තෙගුණ කරවමිනි.

මේ සියලු ආරවුල් මැද වුවද තාරුකා හා මධුසංඛ දරුවා ද සමග එකම නිවෙසක පදිංචිව සිටීමම දෛවෝපගත සිදුවීමක් විය. ඔවුන් පසුව ‘තලංගම ගාර්ඩ්න්’ හි නිවාසයක පදිංචියට පැමිණියේ ද හෝමාගම නිවසේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුතු හේතුවෙනි.

පසුගිය 06 වැනිදා එම නිවසේ මෙම අඹුසැමි යුවළට අමතරව සැමියාගේ මිතුරා වන සම්පත් ද සිටියේය. සම්පත් පැමිණ තිබුණේ එම නිවසේ වූ අලුත්වැඩියාවක් සිදු කර දීම උදෙසා ය.

සුපුරුදු පරිදි එදා ද තාරුකා හා මධුසංඛ අතර ආරවුලක් ඇතිවිය. ඒ එදින ද නිවසේ සම්පත්ට හිමි වැටුප නොදීමට තාරුකා සූදානම් වීම හේතුවෙනි. ඇය එලෙස මුදල් ලබා නොදී ඇත්තේ එම මුදලින් ඔවුන් දෙදෙනාම අයිස් පානය කරනු ඇතැයි බියෙනි.

කෙසේ වෙතත් මෙදින ආරවුල කෙළවර වූයේ විසල් අපරාධයකට ඉඩ විවර කරමිනි. ඒ සැමියා වන මධුසංඛ විසින් සිය බිරිඳ ඝාතනය කිරීමට සැලසුම් කිරීම හේතුවෙනි.

ඔහුගේ මිතුරා වන සම්පත් ද සිටියේ තාරුකා සමග ඉමහත් වෛරයකිනි. එය ද සම්පත් පහසුවෙන්ම මෙම අපරාධයට යොදාගැනීමට එක් හේතුවක් විය.

මේ අතර පසුගිය 06 වැනිදා ආරවුල ඇතිවීමෙන් පසු තම දරුවා සමග නිවසින් බැහැර වූ මධුසංඛ මිතුරාට පවසා තිබුණේ ‘‘ඔය ගෑනිට ඕනෑ දෙයක් කරලා ඉවරයක් කරල දාපන්’’ යනුවෙනි.



ඒ සැණෙන් සම්පත් නිවසට විත් තාරුකාගේ හිසට මන්නා පහරක් එල්ල කර තිබුණේ හිස දෙකට වෙන පරිද්දෙනි. පසුව ඇයගේ වම් අත ද සිරුරෙන් ඉවත් වන පරිදි කපා දමා තිබිණි. පසුව ඇයගේ පාදවලට ද පිහි ප්‍රහාර එල්ල කර තිබිණි.

මේ අතර තරුකා ඝාතනය කිරීමට පෙර හෝ පසුව සම්පත් විසින් ඇය දූෂණය කළාදැයි යන සැකය පොලිසියට ඇතිව තිබෙන්නේ මළසිරුර නිරුවත්ව තිබීම හේතුවෙනි.

මේ අතර සම්පත් නමැත්තා පපෝච්චාරණය කරමින් පොලිසියට පවසා ඇත්තේ තමා මෙම ඝාතනය සිදුකළේ තමාගෙන් සිදු කර ගත් වැඩවලට ඇය විසින් මුදල් ලබා නොදුන් නිසා බව කියමිනි.

ඝාතනයෙන් පසු නිවසේ ඉදිරිපස ගැට ගසා සිටි සුනඛයා නිවෙස තුළ ගැට ගසා තමන් පිටව ගිය බවද සැකකරු පවසා තිබේ.

තලංගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.