thalawa-incident

නීතිවිරෝධි මත්පැන් පෙරන බවට පොලීසියට තොරතුරු දුන්නා යැයි සැකකර මරා වළ දැමූ බව පැවසෙන පුද්ගලයෙකුගේ සිරුරක් මිද්දෙණිය පොලීසිය විසින් සොයා ගෙන තිබේ. මෙසේ ඝාතනයට ලක් කර ඇත්තේ තලාව,කාරියමඩිත්ත, ගොඩකදුරුවෙල, කොටපොල ගෙදර පදිංචි හෙට්ටිගේ කීර්තිරත්න (අවු.44) නමැති තිදරු පියෙකි. 



පොලීසියට ලද තොරතුරු අනුව සිද්ධියට අදාළව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඝාතනයට සම්බන්ධ බවට සැකපිට නීතිවිරෝධි මත්පැන් ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනය සම්බන්ධයෙන් ඔහු පාපොච්චාරණයක් සිදුකර ඇත. ඝාතනයට ලක්වූ පුද්ගලයා තමා නීතිවිරෝධී මත්පැන් පෙරන බවට පොලීසියට තොරතුරු ලබා දෙන බවට සැක කිරීම නිසා ඔහු මරා දැමීමට තීරණය කළ බවත්, ඒ අනුව මග රැඳී සිටි මරණකරුට මත්පැන් පානයට එන ලෙස පවසා කැලෑබද පොල් ඉඩමකට රැගෙන ගොස් මස්සිතා සමග ඔහුගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කර වළ දැමූ බවත් පවසා තිබේ.

මෙලෙස ඝාතනය වූ පුද්ගලයා පසුගිය මැයි 31දා සූරියවැව ප්‍රදේශයට යාම සදහා බස් රථයක් පැමිණෙන තෙක් ඔහුගේ නිවස ආසන්නයේ පිහිටි දමනිය වැව අසල මාර්ගයට යන බවට බිරිඳට පවසා ගොස් ඇත.

දින කිහිපයක් ගතවුවත් සිය සැමියා නිවසට නොපැමිණීම පිළිබඳව ඇය පොලීසියට පැමිණිල්ලක් කර ඇත.ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයකු සහ ඔහුගේ මිත්‍රයකුගේ දැනුම් දීමක් අනුව මිද්දෙණිය පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනවලදී මළසිරුරක් ඇති බව දැක වලස්මුල්ල මහේස්ත්‍රාත්වරිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ද කැඳවා දේහය ගොඩ ගන්නා ලදි. දේහය ඉටි රෙද්දක ඔතා නොගැඹුරු වළක දමා පස්වලින් වසා ඒ මත භූමි තෙල් අතුරා තිබී ඇත.මිද්දෙණිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂන සිදුකරනු ලබයි.