thambuttegama-incident

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් බව පවසා පැමිණ රාජාංගනය යාය හය ප්‍රදේශයේ නිවසකින් රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකාගෙන පලා යෑමට උත්සාහ කළේ යැයි කියන දෙදෙනෙකු ප්‍රදේශ වාසීන් පිරිසක් විසින් බලවත් පරිශ්‍රමයක් යොදා අල්ලා තඹුත්තේගම මූලස්ථාන පොලිසියට පෙරේදා (6) බාර දී ඇත.


ප්‍රදේශ වාසීන් පිරිසක් අල්ලා බාර දුන් මෙම පුද්ගලයින් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු වරකාපොළ, තුන්තොට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 39 ක් වයස හෝටල් සූපවේදියකු බවත් අනෙකා රිදීගම, ඉද්දගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු හතළිස් එකක් වයස රියදුරෙකු බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් බව පවසා මෙම සැකකාර පුද්ගලයින් දෙදෙනා ඇතුළු වී නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා පසුව නිවසේ තිබූ රභාණ්ඩ හා මුදල් කොල්ලකා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පවුම් අටක් බර මාල දෙකක්, රන්මුදු තුනක්, රන් අත් පළඳනාවක් පෙන්ඩන් එකක් සහ රුපියල් හාර ලක්ෂ පනස් දහසක මුදලක් කොල්ල කා පලායෑමට උත්සාහ කර තිබෙන බව පොලිසිය පවසයි.


රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා‌ගෙන මොවුන් දෙදෙනා පලායෑමට උත්සාහ කළ අවස්ථාවේ නිවසේ සිටි අය ආධාර ඉල්ලා කෑ ගසා ඇත.
නිවසේ පදිංචිව සිටින කාන්තාවක් මේ බව පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.
පලා යෑමට උත්සාහ කළ එම පුද්ගලයෝ දෙදෙනා ප්‍රදේශ වාසීන් පිරිසක් විසින් බලවත් පරිශ්‍රමයක් යොදා අල්ලා අල්ලාගෙන පොලිසියට භාර දෙනු ලැබූහ.
තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යති.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)