thilini-piyumali-dollar

තිළිණි පියුමාලි නමැත්තියගෙන් ඩොලර් ලබාදෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාගෙන වංචා කළැයි කියන කාන්තාවක 26 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (12) නියම කළාය.සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන බව කියමින් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ  කොටිකාවත්තේ කුමුදුනී සුදර්ශනී නමැත්තියකී.



ව්‍යාපාරිකයකු වන රාගම පදිංචි රංජිත් එදිරිසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු නිලධාරීහු තිළිණි පියුමාලි නමැත්තිය හරහා ඩොලර් ලබාදෙන බව පවසමින් සැකකාරිය පැමිණිලිකරුගෙන් 2023 සැප්තැම්බර් මාසයේදී මෙලෙස මුදල් ලබාගෙන ඇතැයි දැනුම් දුන්හ.සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු ඩොලරයක් රුපියල් 285ක් බැගින් රුපියල් ලක්ෂ 10ක මුදලකට සරිලන ඩොලර් පැමිණිලිකරුට ලබාදී ඇතැයි ද ඇය පැමිණිලිකරුට තවත් රුපියල් ලක්ෂ 40කට සරිලන ඩොලර් ලබාදිය යුතුව ඇතැයි ද දැනුම් දුන්හ.



සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පසීර් මොහොමඩ් මහතා කරුණු දක්වමින් පැමිණිලිකරුගෙන් තම සේවාදායිකාව මුදල්ල බාගත් බවත් එම මුදල් තිළිණි පියුමාලි නමැත්තියට දුන් බවත් කීය. අදාළ මුදල් තිළිණි පියුමාලි නමැත්තියගෙන් ලබාගත යුතු යැයි කී නීතිඥවරයා තම සේවාදායිකාවට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතරුව විමර්ශන අවසන් නොමැති හෙයින් සැකකාරිය ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දීමට පොලිසියට නියම කළාය.

රෝෂන් තුෂාර