three-wheeler-theft

 කුලී ගමනක් යන මුවාවෙන් මහ මඟ ගමන් ගන්නා ත්‍රීරෝද රථවලට නැග එහි රියදුරුට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා රන් භාණ්ඩ, මුදල් හා ත්‍රීරෝද රථ කොල්ල කා පලායාමට පුරුදුව සිටි කල්ලියක මහා මොළකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.ඒ අතර මීට මාස අටකට පෙර කොල්ලකෑමකට ගිය අවස්ථාවේදී හිරණ ප්‍රදේශයේදී පොල්ලකින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරිමේ සිද්ධියට පොලිසිය සොයමින් සිටි පුද්ගලයකු ද සිටි බව පොලිසිය කියයි.බම්බලපිටිය පොලිස් වසමෙන් සොරාගත් ත්‍රීරෝද රථයක් රත්මලාන දුම්රිය නිල නිවාස අසල මාර්ගයේ නවතා ඇති බවට

බුද්ධි නිලධාරි පො.සැ (49857) නිලධාරියාට ලැබී තිබූ තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පුද්ගලයන් දෙදෙනකු සමග ත්‍රීරෝද රථයක් පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී ඉහත මනුෂ්‍ය ඝාතනයේ හා තවත් දේපළ කොල්ලකෑමේ සිද්ධීන් රැසක තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිමේදී බම්බලපිටිය, හිරණ, පානදුර දකුණ හා ගල්කිස්ස යන පොලිස් වසම්වලදී ත්‍රීරෝද රථ රන් භාණ්ඩ හා දේපළ කොල්ලකා ඇති බවට අනාවරණය වූ බවත් හිරණ පොලිස් වසමේදී කොල්ලකෑමක් සිදු කිරිමට ගොස් වෙළඳසල් හිමිකරුවෙකු බියගැන්වීමට පොල්ලකින් පහර දීමට උත්සාහ දැරීමේදී එම පොල්ල හිසට වැදී පුද්ගලයකු ඝාතනයවීමේ සිද්ධියක තොරතුරු ද අනාවරණය වූ බව පැවසේ.

ඒ අනුව සැකකරුවන් සොරා ගත් ත්‍රීරෝද රථ දෙකක්, ජංගම දුරකථන පහක්,

ත්‍රීරෝද රථවලට යොදන රෝද 03, තියුණු ආයුධයක්, රන් භාණ්ඩ උකස් කළ රිසිට් පත් කිහිපයක් පොලිස් බාරයට ගෙන තිබේ.තවදුරටත් ප්‍රශ්න කිරිමේදී මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මීට වසර හතකට පෙර රටපුරා ආන්දෝලනාත්මක සිද්ධියක් ලෙස ප්‍රචාරය වූ දුම්රියක ගමන්ගත් දමිළයුවළකට කඩුවකින් පහර දී අත් පා කපා තුවාල සිදුකොට රන් භාණ්ඩ හා දේපළ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවට අනාවරණය වූ බව පැවසේ.අත්අඩංගුවට ගත් පානදුර කිරිබේරිය (27) සහ පානදුර පින්වත්ත (29) ප්‍රදේශවල පදිංචි සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න