tissa-village-police

හෝටල් හිමියකු සහ එහි සේවකයන් හතර දෙනකු පැහැරගෙන ගොස් කෲරත්වයට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ තිස්සමහාරාම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට වසර 07 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මාතර මහාධිකරණ විනිසුරු චමත් මදනායක මහතා කෲරත්වයට පත්වු පුද්ගලයන් හයදෙනාට රුපිල් ලක්‍ෂ 05 බැගින් වන්දි ගෙවීමටද ඊයේ (24) නියම කළේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් අදාළ දඬුවම් පැනවු විනිසුරුවරයා විත්තිකරුවන්ට රුපියල් 10,000/- බැගින් දඩ මුදල්ද නියම් කළේය.චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ තිස්සමහාරාම පොලිසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ දැනට කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන ප්‍රභාත් දේශබන්ධු, තිස්සමහාරාම පොලිසයේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙන් කටයුතු කළ දැනට වැල්ලවත්ත පොලිසියේ උප පොලිස් පරික්‍ෂවරයකු වශයෙන් කටයුතු කරන සන්නස්ගල සහ තිස්සමහාරාම පොලිසයේ සැරයන්වරයකු වශයෙන් කටයුතු කර මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින කුලතුංග නමැත්තාය.



2003 වර්ෂයේදී තිස්සමහාරාම ප්‍රදේශයේදී හෝටලයක හිමිකරු සහ එහි සේවකයන් වශයෙන් කටයුතු කළ සිවුදෙනකු පැහැරගෙන ඔවුන් රඳවාගෙන කෲරත්වයට පත් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.මෙලෙස පැහැරගෙන ගොස් කෲරත්වයට පත් කර ඇති බව නඩු විභාගයේදී අනාවරණය වුයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ‘තිස්ස විලේජ්’ නමැති හෝටලයේ හිමිකරු වන උදය ශාන්ත දිසානායක කොඩිතුවක්කු එහි සේවකයන් වශයෙන් කටයුතු කළ සමන්ත, අජන්ත, රුවන් සහ එවකට විශ්ව විදාල සිසුවකු වශයෙන් සිටි සුජීව දිසානායක නමැත්තන්ය.

‘තිස්ස විලේජ්' නමැති හෝටලය සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු සහ තවත් පාර්ශ්වයක් අතර ඇති වු ආරවුලක් හේතුවෙන් විත්තිකාර පොලිස් නිලධාරින් හෝටලයේ හිමිකරු සහ එහි සේවකයන් පැහැරගෙන ගොස් ඔවුන් රඳවාගෙන කෲරත්වයට පත් කර ඇති බවත් පසුව ගිනි අවි, බෝම්බ ලඟ තබාගත් බවට චෝදනා කරමින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.මේ සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු සහ සේවකයන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීමෙන් අනතුරුව වගඋත්තරකාර පොලිස් නිලධාරින් පෙත්සම්කාර හෝටලයේ හිමිකරු සහ සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු වීමෙන් පසු පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් කරන ලද විරේශනයකින් අනතුරුව විත්තිකාර පොලිස් නිලධාරින්ට එරෙහිව නීතීපතිවරයා විසින් මාතර මහාධිකරණයේ නඩු පවරන ලදී.



මේ සම්බන්ධයෙන් වසර 19ක කාලයක් පුරා පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා චෝදනාවන්ට විත්තිකරුවන් වරදකරුවන් බවද තීරණය කළේය.පැමිණිල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ නීතීඥ දීලීප් භාණු මහතා කරුණු දක්වමින් මෙම විත්තිකරුවන් තිදෙනාම සාමය ආරක්‍ෂා කිරීම සඳහා නීත්‍යනුකූලව පත් කරන ලද පොලිස් නිලධාරින් බවත් එසේ තිබියදී ඔවුන් මෙම සිද්ධියේදී අතෘප්තියට පත්වු පුද්ගලයන් කෲර ලෙස වධහිංසනයට ලක්කර ඇති බව නඩු විභාගයේදී හෙළි වී ඇතැයිද කීය.

මෙවැනි චෝදනාවකට වරදකරුවන් වු අයකුට වසර 07 සිට වසර 10 දක්වා අතර කායලක් සඳහා බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරිමට හැකියාව ඇතැයිද අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303 වැනි වගන්තිය යටතේ අවම දඬුවමක් නියයම් කර ඇති අවස්ථාවක අත්හිටවු සිරදඬුවම් නියම කිරීමට හැකියාව නැතැයි පෙන්වා දුන් රජයේ නීතීඥ දිලීප් භාණු මහතා විත්තිකරුවන්ට නීත්‍යානුකූල දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රසීක් සරුක් මහතා කරුණු දක්වමින් විත්තිකරුවකුට දඬුවම් කිරිම හෝ දඬුවම් අඩු කිරිම සම්බන්ධයෙන් අධිකරණයට අභිමතානුසාරී බලයක් ඇති හෙයින් තම සේවාදායකයන්ට ලිහිල් දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී රජයේ නීතීඥ දීලීප් භාණු මහතා කරුණු දක්වමින් දීර්ඝ නඩු විභාගයකින් පසු මෙම තත්වය බලනොපාන හෙයින් විත්තිකරුවන්ට නීත්‍යානුකූල දඬුවමක් නියම කරන ලෙසත් අතෘප්තියට පත් පාර්ශ්වයට උපරිම වන්දි මුදල් අයකර දෙන්නැයිද ඉල්ලා සිටියේය.ඉදිරිපත් වු සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළේය.
මනෝප්‍රිය ගුණසේකර