trinco-train-issue

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා ඊයේ (16) අලුයම අතරමගදී බිම ඇද වැටීම හේතුවෙන් වෙනත් නියාමකවරයකු යොදවා එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ඉදිරියට ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය පාලක මැදිරිය කියයි. ත්‍රිකුණාමලය බලා යන දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් පසු යළි ගමන් ආරම්භ කිරීම සඳහා නියාමකවරයාගෙන් සංඥා ලැබී නැති නිසා ඒ පිළිබඳව කළ සොයා බැලීමේදී නියාමකවරයා මැදිරියේ දක්නට සිට නැති බව හෙළි වී ඇත.

පසුව දැනගන්නට  ලැබී ඇත්තේ, දුම්රිය ධාවනය වෙමින් න‍් තිබියදී බුළුගහගොඩ ප්‍රදේශයේදී නියාමකවරයා දුම්රියෙන් බිම ඇද වැටී රෝහල්ගත කර ඇති බවයි.

ඉන් අනතුරුව කොළඹ කොටුවේ සිට මහනුවර බලා යන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියෙන් වෙනත් නියාමකවරයකු ගම්පහ දුම්රිය ස්ථානය බලා යැවීමට පියවර ගත් බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.උද්ගත වූ තත්වය හමුවේ පැය දෙකකට ආසන්න කාලයක ප්‍රමාදයකින් පසු ත්‍රිකුණාමලය බලා යන දුම්රිය පෙරවරු 8.00ට පමණ යළි ගමන් ආරම්භ කරනු ලැබූ බව ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.රෝහල්ගත කෙරුණු දුම්රිය නියාමකවරයාගේ තත්වය බරපතළ බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.
පුෂ්පකුමාර මල්ලවආරච්චි