කුලී ගමනක් යෑම සඳහා UBER මෝටර් සයිකලයකට ඇමතුමක් දුන් තරුණයෙකු කොටිකාවත්ත හංදියේදී එම සයිකලය පැමිණි විට ඊට ගොඩවී ඇත්තේ මෙගොඩ කොළොන්නාවට යෑම සඳහාය. මෙගොඩ කොළොන්නාවෙන් බැස ගත් එම තරුණයා සයිකල්කරුට මුදල් ගෙවන මුවාවෙන් තම සාක්කුවට අත යවන අතරේ එක්වරම බයිසිකල හැඬලයේ සවි කර තිබූ දුරකතනය ද රැගෙන අතුරුදන් වී ඇත. මෝටර් බයිසිකල්කරු මේ පිළිබඳව වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව වහා ක්‍රියාත්මක වු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ශාමික මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානය වෙත ගොස් අසල තිබූ CCTV කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකකරු හඳුනාගෙන තිබේ.
පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සෙවීමේදී නිවෙසින් පැන ගොස් ඇත.
මේ අතර ඊට පසු දින මෙගොඩ කොළොන්නාවේ එම ස්ථානයේදී ම දෙපිරිසක් රණ්ඩු වී ඇති අතර එක් තරුණයෙකු තවත් පුද්ගලයෙකු හට මන්නයකින් කොටා ඇති බව වාර්තා වී තිබුණි. ඒ අනුව වහා එම ස්ථානය වෙත ගිය පොලිස් නිලධාරීන් එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර දුරකතන සොරකම සඳහා අවශ්‍ය පුද්ගලයා ඔහු බව හඳුනාගෙන තිබේ.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලදී පැහැර ගන්නා ලද දුරකතනය තවත් අයෙකුට විකුණා තිබියදී සොයා ගෙන ඇත. එය රුපියල් තිස්පන් දහසක පමණ වටිනාකමින් යුත් එකක් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙගොඩ කොළොන්නාවේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි. සැකකරු මීට මසකට පමණ පෙර නිවසකට ඇතුළු වී ගෑස් සිලින්ඩරයක් සොරා ගැනීමේ වරදකට බන්ධනාගාරගතව සිට පැමිණ ඇත්තේ ද මීට දින කිහිපයකට පෙර බව පොලිසිය සඳහන් කරයි.
ජංගම දුරකතනයක් මංකොල්ලකෑම සහ පුද්ගලයෙකුට මන්නයකින් කෙටීම යන චෝදනා යටතේ සැකකරු ඊයේ (25) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
0 Comments