udayanga-release-free

 ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව උදයංග වීරතුංග මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම දෙසැම්බර් 04 වැනිදා දක්වා ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා ඊයේ(05දා) නියම කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදස් ඉල්ලා වසර 07ක කාලයක් ගතවී ඇතත් මේ දක්වා නීතීපති උපදස් ලැබී නැතැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එම උපදස් දීම සම්බන්ධයෙන් යළිත් වරක් සිහි කැඳවීමේ ලිපියක් නීතිපතිවරයාට යොමු කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 2006 වසරේදී මිග් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී රජයට ඇමරිකානු ඩොලර් මිලියන 14ක පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළේය.

සිද්ධියට අදාළ සැකකරුවන් වශයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අමතරව ගනුදෙනුවට මූල්‍ය පහසුකම් දන් බව කියන සමාගමේ අධ්‍යක්‍ෂවරුන් බව කියන ලී සහ කිම් යන සිංගප්පූරු ජාතිකයන් නම් කර ඇතත් සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී උදයංග වීරතුංග මහතා පමණක් අධිකරණයේ පෙනී සිටියේය. සැකකාර ලී සහ කිම් නමැත්තන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට තම සේවාදායකයන් කැමැත්ත ලබාදී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබාගෙන නැතැයි කීය.



කටඋත්තර දීමට තම සේවාදායකයන් කැමැත්ත ලබාදී තිබියදීත් පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශයක් නොගෙන අපරාධමය වරදක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍ය බව කියමින් වසමින් තම සේවාදායකයන්ට එරෙහිව 'නිල් නිවේදන' නිකුත් කරවාගෙන ඇතැයි කී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා රහස් පොලීසිය මේ අවස්ථාවේදී කළ යුත්තේ මෙම ගනුදෙනුවට අදාළ මුල් ගිවිසුම අස්ථානගත වූයේ කෙසේදැයි විමර්ශනය කිරිම යැයිද කීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාර්න් ඊට පිළිතුරු දෙමින් මෙම ගනුදෙනුවට අදාළ මුල් ගිවිසුම අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනය කර නීතිපතිවරයාට උධෘත ඉදිරිපත් කළ බවත්, එම ගොනු පක්‍ෂා කළ නීතීපතිවරයා ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව දැනුම් දී ඇතැයිද ඒ පිළිබඳව මීට පෙර අවස්ථාවකදී අධිකරණය දැනුවත් කර ඇතැයිද කීය. කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ පැමිණිල්ල දෙසැම්බර් 04 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
බුද්ධිමාල් රුබේරු