uddika-drama-revealed

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට අනුරාධපුරයේ නිවෙස ආසන්නයේදී වෙඩි තබා ඇත්තේ පොලිස් ප්‍රධානියකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරිවරයකු සමග එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය කර ඇති බවද ඔහු සඳහන් කළේය.උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට එම වෙඩි ප්‍රහාරය සිදු වූයේ ඉකුත් වර්ෂයේ සැප්තැම්බර් 17 වැනිදාය.වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ පැති වීදුරුවට හානි සිදු වූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් නොවීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කළ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සංජීව මහානාම නමැති සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා විදේශගත වී ඇති බවත් ඔහු විදේශගත වී ඇත්තේ පොලිසියට දැනුම් දී නිසි අවසරයකින් නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදු කරන බවද තල්දූව මහතා ප්‍රකාශ කළේය.

මෙම සහකාර පොලිස් අධිකාරිවරයා සහ මන්ත්‍රීවරයා සැලසුම් සහගතව ප්‍රහාරය කර ඇති බව පෙනී යන්නේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන අතරතුරදී සහකාර පොලිස් අධිකාරිවරයා මෙසේ විදේශගතව ඇති බව විමර්ශනයේදී හෙළි වී යැයි ද පොලිසිය පවසයි.

සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා කටුනායක ගුවන් තොටුපොළට ගොස් කිසිවකු අතේ සිය ගිනි අවිය සේවා ස්ථානයට එවා ඇති බවට ද තොරතරු අනාවරණය වී ඇතැයි පැවසූ තල්දූව මහතා ඒ සම්බන්ධයෙන් පවත්වන බව සඳහන් කළේය.තම ගිනි අවිය වෙනත් අයකුගේ යටතට පත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඔහු කීවේය. සහකාර පොලිස් අධිකාරිවරයා පෙරේදා මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.මන්ත්‍රීවරයා එදින නිවසෙන් පිටතට ගොස් තිබුණේ ආරක්ෂකයන් නිවසේ රඳවා තබා බව හෙළි වී ඇතැයිද පොලිසිය කියයි.උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පසුගිය පෙබරවාරි 27 වැනිදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී බිරිය සහ දරුවන් සමග කැනඩාව බලා පිටත් විය.
  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය