uddika-fire-court

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමට යොදා ගත් බවට සැක කෙරෙන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි (1) සංජීව මහානාම මහතා පරිහරණය කළ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පිස්තෝලය සහ වෙඩි තැබීම කළ ස්ථානයේ තිබී සොයා ගත්

පිස්තෝල හිස් උණ්ඩ රජයේ රස පරීක්ෂකවරයාට යවා ඊට අදාළ වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී සොයා ගැනුණු හිස් පිස්තෝල උණ්ඩ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා පරිහරණය කළ පිස්තෝලයෙන් නිකුත් වූ උණ්ඩ ද යන්න අදාළ රස පරීක්ෂණ විමර්ශනයේදී පුළුල්ව සොයා බලන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙසත් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.මෙසේ නියෝග කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් මගින් යළි කැඳවූ අවස්ථාවේදීය.



මෙහිදී වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, මෙම වෙඩි තැබීමේ සිද්ධියට යොදා ගෙන ඇත්තේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබූ රාජකාරි පිස්තෝලයෙන් බවට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පුළුල් විමර්ශනයේදී අනාවරණ වී ඇති බවය. වෙඩි තැබීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සහ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම යන දෙදෙනා සැලසුම් සහගතව සංවිධානත්මකව සිදු කර ගත් එකක් බවට කරුණු අනාවරණ වෙමින් පවතින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.වෙඩි තැබීම කර දින දෙකකට පසුව එවකට අනුරාධපුර හිටපු සහකාර පෙලිස් අධිකාරි සංජීව මහනාම මහතා තමා පරිහරණය කරමින් සිටි පිස්තෝලය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට බාරදී ඇති බව ද අධිකරණයට සැළ කළ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව, සහකාර පොලිස් අධිකාරිවරයා සිය රාජකාරි පිස්තෝලය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට බාරදීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ එම පිස්තෝලය ක්‍රියාත්මක තත්වයේ නොමැති බව යැයි ද කීවේය.

රාජකාරි පිස්තෝලය ක්‍රියාත්මක තත්වයේ නොමැති බව පවසමින් සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා සිය රාජකාරි පිස්තෝලය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට බාර දීමෙන් අනතුරුව ඔහුට වෙනත් පිස්තෝලයක් නිකුත් කර ඇති බව ද අධිකරණයට කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ක්‍රියාත්මක තත්වයේ නොමැති බව කියමින් සහකාර පොලිස් අධිකාරිවරයා බාර දුන් පිස්තෝලය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාව රජයේ මධ්‍යම අවි ගබඩාවට යවා ඇති බව ද සැළ කර සිටියේය. පසුව එම පිස්තෝලයේ ක්‍රියාත්මක තත්වය සම්බන්ධයෙන් මධ්‍යම අවි ගබඩාව මගින් පරීක්ෂා කර බැලූ බවත්, ක්‍රියාත්මක තත්වයේ නොමැති බව කියමින් සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට බාර දුන් පිස්තෝලය ඉතා හොඳ ක්‍රියාත්මක තත්වයේ පවතින බවට තහවුරු කර ඇති බව ද සඳහන් කළේය.



ඒ අනුව සිය පිස්තෝලය ක්‍රියාත්මක තත්වයේ තිබියදී එය අක්‍රීය තත්වයේ පවතින බවට අසත්‍යයක් ප්‍රකාශ කරමින් සහකාර පොලිස් අධිකාරිවරයා අවි ගබඩාවට සිය රාජකාරි පිස්තෝලය බාර දීම ප්‍රබල සැකයට හේතුවක් වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අදාළ පිස්තෝලය සිය බාරයට ගෙන විමර්ශන අරඹා වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගත් බව ද පවසා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වෙඩි තැබීමේ අපරාධමය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විටත් හඳුනා ගෙන ඇති බව ද කීවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමැතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගෙන් විමසා සිටියේ මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන්නේ ඇයි ද? යන්නයි. ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා පරිහරණය කළ පිස්තෝලය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව ලද විගස සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි.මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා පරිහරණය කළ පිස්තෝලය සිය බාරයට ගැනීමත් සමග සහකාර පොලිස් අධිකාරිවරයා ඉකුත් 12 වැනිදා රාත්‍රියේ මැලේසියාවට පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

ඔහු එසේ මැලේසියාවට ගොස් ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් ලබා නොගෙන බව එහිදී සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා,

සිය රාජකාරි පිස්තෝලය කටුනායක ගුවන් තොටුපොළේ දී වෙනත් පුද්ගලයකුට බාරදී ඔහු මෙලෙස මැලේසියාවට ගොස් ඇති බවත්, සිය රාජකාරි පිස්තෝලය අන්සතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවත් කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට අනුරාධපුරයේ පිහිටි ඔහුට අයත් නිවෙස ආසන්නයේදී වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූයේ 2023 වසරේ සැප්තැම්බර් 17 වැනිදාය.

මෙම වෙඩි තැබීමට අදාළව අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති සීසීටීවී කැමරා සංඛ්‍යාව 11 කි. ඒ කිසිදු කැමරාවක අදාළ වෙඩි තැබීම සටහන්ව නොමැති බව විමර්ශනවලදී හෙළි කර ගැණින. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පැති අවි දෙකකින් (පිස්තෝල දෙකෙන්) වෙඩි ප්‍රහාර එල්ල කර ඇද්ද? යන්න අනාවරණ කර ගැනීම සඳහා එම පැති අවි දෙක ද (පිස්තෝල දෙක) රජයේ රස පරීක්ෂකවරයා වෙත අධිකරණ නියෝග මීට පෙර යැවිණ.
උපාලි ආනන්ද