vavuniya-earth-quake

වවු­නි­යාව මැද­ව­ච්චිය ඇතුළු ප්‍රදේශ ගණ­නා­වක පෙරේදා (18) මධ්‍යම රාත්‍රි­යේදී පොළොව සෙල­වී­මක් සිදුව තිබේ. රාත්‍රී 11.05ට පමණ එක්ව­රම විශාල ඝෝෂා­වක් ඇති වී පොළොව සෙලවී ගිය බව එම ප්‍රදේ­ශ­වල වැසියෝ පැව­සූහ.

මැද­ව­ච්චිය ප්‍රදේ­ශයේ වැසි­යන් කියා සිටියේ එක්ව­රම වන අලි රංචු­වක් පාර දිගේ දුව­නවා වැනි ශබ්ද­යක් ඇසී සියලු දෙනා කල­බ­ල­යට පත්ව එළි­යට පැමිණි බවයි. එහෙත් ස්වල්ප වේලා­ව­කදී ඒ ශබ්දය තුනීව ගිය බව ඔවුහු ප්‍රකාශ කළහ. වවු­නි­යාවේ එම භූ චල­නය පැවති පෙදෙ­ස්වල වැසි­යන් කියා සිටියේ සුපර් සොනික් ගුවන් යාන­යක් ගමන් කර­නවා වැනි ශබ්ද­යක් ඇසුණු බවත් නිවෙ­ස්වල භාණ්ඩ පවා සෙලවී ගිය බවත්ය. මැද­ව­ච්චියේ ජන­තාව පව­සන්නේ රාත්‍රී 11.02ත් 11.05ත් අතර සිදු වූ මහා හඬක් සහිත මේ භූ කම්ප­න­යෙන් තම නිවාස හා ගෘහ­භාණ්ඩ මෙන්ම පොළො­වද සෙලවී ගිය බවයි.

56,000කට ආසන්න මැද­ව­ච්චිය ප්‍රාදේ­ශීය ලේකම් බල ප්‍රදේ­ශයේ ජන­තාව නිදි­ව­ර­මින්, බිරා­න්තව ගත කළ රාත්‍රිය පිළි­බඳ අප කළ විම­සී­මේදී ඔවුහු මෙසේ කීහ.



පෙරිය උලු­ක්කු­ලමේ ධම්මා­නන්ද හිමි: “මම බණ පොතක් කියව කියවා හිටියේ. ඊයේ රාත්‍රී 11.02ට විතර එක් වරම විශාල සබ්ද­යක් ඇහුණා. ඒ එකක්ම බිත්ති දෙද­රන්න ගත්තා. පොළොව යටින් තමයි මේ සදිද ආවේ. ඒත් කිසිම කර­ද­ර­යක් පර­ණ­හ­ල්ම්ල්ලෑව ගම්මා­නයේ මගේ දායක පිරි­ස­ට­වත් මට­වත් සිදු වුණේ නෑ. මේ භූ කම්ප­න­යක් කියන දේ හැමෝම දැන­ගෙන හිටියා. ඒ නිසා ආර­ක්ෂිත ස්ථාන­ව­ලට හැමෝම ගියා.”

සුමිත් ජය­සිංහ මහතා: “මම ටීවී බල­මින් තමයි ඒ වෙලාවේ හිටියේ. එක් වරම මහ හඬක් ආවා. පොළොව යටින් තමයි ඒ හඬ ඇහුණේ. ඒ එක්කම බිත්ති ගේදොර බඩු භාණ්ඩ හෙල­වුණා. අපි බය වෙලා ගෙයින් මිදු­ලට බැස්සා. මොකද්ද මේ වෙන්නේ කියලා හිතා­ගන්න බැරි වුණා. අන­තු­රුව මම අදාළ බල­ධා­රීන් දැනු­වත් කළා.”



ආර්. ජානකී කුමාරි: “රෑ 11.02ට විතර එක්ව­රම අමුතු සද්ද­යක් ආවා. ඒ එකක්ම ගෙදර හෙල­වුණා. අපි දරු­වොත් අර­ගෙන මිදු­ලට බැස්සා. මොකද්ද වුණේ කියලා දන්නේ නෑ. උදේ තමයි දන්නේ භූ කම්ප­න­යක් කියලා.”

නෙර­න්ජලී දිසා­නා­යක: “මම දරු­වත් එක්ක ඇඳේ හිටියේ. එක පාර­ටම ඇඳ හෙල­වෙන්න ගත්තා. මම ළඟ තිබුණු පුටු­ව­කින් ඇල්ලුවා. ඒකත් හෙල­වුණා. මොකද්ද වුණේ කියලා හිතා­ගන්න බැරුව අපි බයෙන් හිටියේ.”

මේ සිදු­වීම පිළි­බ­ඳව අපි අනු­රා­ධ­පුර දිස්ත්‍රික් සහ­කාර ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කයේ අධ්‍යක්ෂ ලුති­නල් කර්නල් සනත් දිසා­නා­යක මහ­තා­ගෙන් විම­සී­මක් කළෙමු.

“රිච්ටර් මාපක 2.3ක භූ කම්ප­න­යක් රාත්‍රියේ සිදුව තියෙ­නවා. එය වව්නි­යා­වට සහ අනු­රා­ධ­පුර දෙසට කිලෝ­මී­ටර් 23ක් පැතිර තිබෙ­නවා. මේ භූ කම්ප­නය කැබි­ති­ගො­ල්ලෑව, ගෝණ­මැ­රි­යාව ප්‍රදේ­ශයේ පොළොව අභ්‍ය­න්ත­රය කිලෝ­මී­ටර් 8ත් 10ත් අතර ඇතු­ළත තමයි සිදු වී තිබෙන්නේ. එහි තරංග ගමන් කිරී­මක් සිදුව ඇති අතර, ඒ හේතුව නිසා ජන­තා­වට එය දැනීමේ වැඩි ප්‍රව­ණ­තා­වක් ඇති වී තිබෙ­නවා. මේ පිළි­බ­ඳව අප දැඩි අව­ධා­න­යෙන් සිටි­නවා.”




වවු­නි­යාව ප්‍රදේ­ශයේ ජන­තා­වට දැනුණු භූ කම්ප­නය ශ්‍රී ලංකාව ආශ්‍රි­තව ඉතා ගැඹු­රින් පිහිටි පැලුම් තල ආශ්‍රි­තව පව­තින ශක්තිය මුදා­හැ­රී­මක් නිසා සිදු වූවක් බවත් ඒ සම්බ­න්ධ­යෙන් කිසිදු අනි­යත බියක් ඇති කර නොගත යුතු බවත් පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ භූ ගර්භ විද්‍යාව පිළි­බඳ සම්මා­නිත මහා­චාර්ය අතුල සේනා­රත්න මහතා පව­සයි.

මෙයට වසර 10කට පමණ ඉහ­ත­දීද මේ ආකාර කම්පන තත්ත්ව­යක් වවු­නි­යාව හා මැද­ව­ච්චිය ප්‍රදේ­ශ­යන්හි ජන­තා­වට දැනී තිබෙන බවත් නැවත වසර ගණ­නා­වක් යන තුරු මේ ආකාර කම්ප­න­යක් එම ප්‍රදේ­ශ­වල ඇති වේයැයි අනු­මාන කළ නොහැකි බවත් ඒ මහතා කීය. පෘථි­විය වාර්ෂි­කව මි.මී. 2ක පමණ ප්‍රමා­ණ­ය­කින් එස­වෙන බවත්, එවැනි අව­ස්ථා­වල පැලුම් තල තුළ ඇති වන ආත­තිය මුදා­හැ­රී­මක් සාමා­න්‍ය­යෙන් සිදු වන බවත් කී මහා­චා­ර්ව­රයා එවැනි අව­ස්ථා­වක සුළු භූ කම්පන තත්ත්ව­යක් දක්නට ලැබෙන බවද අව­ධා­ර­ණය කළේය.

 රසුල දිල්හාර ගමගේ, එස්.ජී. උබේ­පාල