wanawasee-rahula-thera

 මේ රට බංකොලොත් කරන්නේ වෘත්තීය සමිති සහ පූජකයන් නිසා ඒවාට ඉඩ නොදිය යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ, ජාතික නාමල් උයනේ ඊයේ (05දා) පැවති මාධ්‍ය හමුවකදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ උන්වහන්සේ මෙසේද පැවසූහ. “ජනාධිපතිවරණයට ගොඩක් අය ඉදිරිපත් වෙනවානේ. මේ රටේ ජනතාව දැන්වත් ඒ කරපු මෝඩකම් කරන්නේ නැතිව යථාර්ථ අවබෝධයෙන්, රට ගැන, මිනිස්සු ගැන දැක්මක් තියෙන, පොළොවේ පයගහලා ඉන්න, මිනිස්සු එක්ක ඉන්න, මිනිස්සුන්ගේ සංවේදී බව හඳුනන මනුෂ්‍යයෙක් තෝරා ගන්න කියලයි මගේ ඉල්ලීම.



මේ රටේ මිනිස්සු හැමදාම කළේ ටකරන් කෑල්ලට, වතුර මෝටරයට, හාල් ටිකට, බඩු මල්ලට රැවටෙන එක. ඒ විදිහට රැවටෙන තාක් කල් අපිට මේ රට ස්වංපෝෂිත රටක් කරන්න, නිල්ල පිරුණු දේශයක් කරා ගෙන යන්න පුළුවන් වෙන්නේ නෑ. අනෙක් එක තමයි විශේෂයෙන්ම දේශපාලන භේදයකින් තොරව, අපක්ෂපාතීව, ස්වාධීනව, දැක්මක් ඇතිව කටයුතු කරන කෙනෙක් ඕනෑ. ශ්‍රී ලංකාද, ජේ.වී.පීද, පොදු පෙරමුණද වෙනත් පක්ෂයක්ද,කියන එක නොවෙයි වැදගත්, ජනතාව අවුරුදු 70 ගාණක් මේක තේරුම් ගත්ත බවක් පේන්නෙ නෑ. ඒ නිසා දැන්වත් මේ රට ගොඩනගන්න පුළුවන්, දර්ශනයක්, ප්‍රතිපත්තියක් ඇති, හොඳ නායකයෙක් පත් කරගන්න ඕනෑ.

අරගල කාලේ, කොව්ඩ් කාලේ මේ රට භාර ගන්න කියලා හිටපු ජනාධිපතිවරයා කිව්වානේ. කවුරුවත් භාර ගත්තේ නෑනෙ. එක මන්ත්‍රී ආසනයක් තිබුණ කෙනෙක්නේ රනිල් වික්‍රමසිංහ කියන වර්තමාන ජනාධිපතිවරයා. මේ ජනාධිපතිවරයා ආවට පස්සේ යම් ප්‍රගතියක් දකින්න තියෙනවා.

හැබැයි ඒ වුණාට මේ මිනිස්සුන්ට බදු ගහන ප්‍රමාණය බැලුවම මේක උහුලන්න බෑ, ඒවා ටිකක් තේරුම් ගත්තොත් හොඳයි කියන එකයි මා දකින්නේ.මිනිස්සුන්ට සහනයක් අවශ්‍යයි.

මේ රට බංකොලොත් කරන්නේ, මේ රට විනාශ කරන්නේ, මේ රට කරන්නේ වෘත්තීය සමිතිකාරයොයි, පූජකයොයි. ඒ නිසා ඒවාට ඉඩ දෙන්න හොඳ නෑ . මිනිස්සුන්ගේ ජීවන වියදම ඉහළයි. ජීවන වියදම දවසින් දවස ඉහළ යනවා. ඒ නිසා ඒවා තේරුම් අරගෙන මේ මිනිස්සු කටයුතු කරන්න කියලා මම ඉල්ලන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට යන්න වුණේ වටේ හිටපු පූජකයොයි, කොන්ත්‍රාත්කාරයෝ ටිකයි නිසයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, පූජකයොයි, හාමුදුරුවරුයි, ඔක්කෝම එකතු කරගෙන අනුශාසනා, උපදෙස් ගත්තා, මම නිතර කියන දෙයක් තමයි රාජ්‍ය පාලනයට කිසිදු ආගමික නායකයෙක් සම්බන්ධ කර ගත යුතු නැහැ. රාජ්‍ය පාලකයෝ කොහොමත් පූජකයන්ගේ, අවවාද අනුශාසනා පිළිගන්නෙත් නෑනේ. ඒ නිසා ඒකේ ප්‍රශ්නයකුත් නෑ.”

තිසර සමල්