warakapola-accident

පාසල් ශිෂ්‍යාවන් 26 දෙනෙකු හා දෙමාපියන් පිරිසක් ගමන් ගත් බස් රථයක්  අද (09) වරකාපොල නගරයේ ඇති අනාරක්ෂිත ඇලකට පෙරළීමෙන් පාසල් ශිෂ්‍යාවන් ඇතුළුව 13 දෙනෙකු තුවාල ලබා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කළ බව වරකාපොල පොලිසිය පවසයි .

මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයේ බාල දක්ෂිකාවන් 26 දෙනෙකු හා දෙමාපියන් 11දෙනෙකු  රන්ටැඹේ බාල දක්ෂ පුහුණු කඳවුර බලා පිටත්ව යමින් සිටියදී  වරකාපොල තැපැල් කන්තෝරුව ඉදිරිපිට වංගුවත් සමග ඇති අනාරක්ෂිත ඇළට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබිණ .

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් ශිෂ්‍යාවන් ඇතුළුව දහතුන් දෙනකු තුවාල ලබා ඇති බවත් ඔවුන්ගෙන් ශිෂ්‍යාවන් දෙදෙනෙකුගේ හැර අන් අයගේ තත්ත්වය බරපතළ නොවන බවත්  රෝහල් ආරංචි මාර්ග පවසයි . සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.