world-cup-nyc-ground

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ක්‍රීඩා කිර්මට යොදාගත් නිව්යෝක්හි නසාවු කවුන්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණය එම තරග අවසන්වීමත් සමග කඩා ඉවත් කිරීමට පටන් ගෙන ඇත.  ඒම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් තරගය වූ මූලික වටයේ 'ඒ' කාණ්ඩයේ ඇමරිකාව හා ඉන්දියාව අතර තරගයේ අවසානයත් සමග ක්‍රීඩාංගණය කඩා ඉවත්කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබිණ. මෙවර ලෝක කුසලානයට පෙර තාවකාලික ක්‍රීඩාංගණයක් ලෙස මෙය නිර්මාණය කළේ තරගාවලියට මාස 5 ක් වැනි කෙටි කාලයකදී වීම විශේෂත්වයකි. ප්‍රේක්ෂකයන් තිස්හතර දහසකට අසුන් ගැනීමට හැකිවන ලෙස සකසා තිබූ මෙම ක්‍රීඩාංගණයෙහිදී තරඟාවලියේ තරග 8 ක් පැවැත්විණ.



ක්‍රීඩාංගණයේ තණතීරු වෙනත් ස්ථානයක සකසා පසුව රැගෙන අදාළ ස්ථානයේ තැන්පත් කළ drop-in pitches තණතීරු 10 කින් සමන්විත විය. මෙම තණතීරු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි නිෂ්පාදිත ඒවා විය. කෙසේ වෙතත් මෙම ක්‍රීඩාංගණයේ තණතීරු අයි.සී.සී. යේ නිසි ප්‍රමිතීන්වලට අනුකූලව නිපදවූ ඒවා නොවන බවටද චෝදනා එල්ල විය. ඒ මෙම තණතීරුවල පන්දුවට පහරදීම පිතිකරුවන්ට දැඩි අසීරු වූ බැවිනි.

එහි පැවති තරග 8 දී වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූයේ කැනඩා කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව සිය පන්දුවාර 20 තුළදී කඩුලු 7 කට රැස් කළ ලකුණු 137 යි. ඒමෙන්ම එහි අවම ලකුණු සංඛ්‍යාව ලෙස දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව පන්දුවාර 19.1 කදී ලකුණු 77 කට දැවීයාම සනිටුහන් විය.මේ අතර කඩා ඉවත් කරන ලද නසාවු කවුන්ටි ක්‍රීඩාංගණය හා අවට ප්‍රදේශය මහජනයාට පිවිසිය හැකිවන පරිදි එය තිබූ මුල් ආකාරයටම පත් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සති 6 ක් ඇතුළත ඒම කාර්යය නිමා කිරීමට සැලසුම් කර ඇති බවද ඒම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.