yupun-abeykoon

 ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ඉරිදා (2) පැවැති ඩයමන්ඞ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී‍ ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් මීටරි 100 (පිරිමි) ඉසව්වෙන් අට වැනි (අවසන්) ස්ථානය ලැබීය.එහිදි ඔහුගේ නිමි කාලය වූයේ තත්පර 10.63 කි.මෙම තරගය තත්පර 10.16 කට ජය ගත්තේ අප්‍රිකානු කෙටි ධාවන ශූරයෙකු වන කැමරුන් ජාතික එමානුවල් එසෙමේ විසිනි.

කෙසේවුවත් එදිනම එම ස්ථානයේදීම පැවැති ස්ටොක්හෝම් ජාතික තරගාවලියට සහභාගි වූ යුපුන් එහිදී මීටර් 100 (පිරිමි ) ඉසව්ව තත්පර 10.22 කට ජය ගැනීමට සමත් විය.යුපුන්ගේ මේ දිනවල විදේශීය තරග වලට සහභාගිවීමේ අරමුණ වන්නේ ජූලි මාසයේදී ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වන ගිම්හාන ඔලිම්පික් උළෙලට මෙම ඉසව්වෙන් නිර්දේශ ලබා ගැනීමය.ඒ සදහා ඔහු (ක්‍රීඩකයෙක්) අවම තත්පර 10.00 ක දක්ෂතාවයක් පළ කළ යුතුය.කෙසේවූවත් පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග ජයග්‍රහණ වලදී එකතු වන ප්‍රසාද ලකුණු ක්‍රමයක් යටතේ තවත් විකල්ප අවස්ථාවක් හිමිව තිබේ.එම විකල්ප ක්‍රමය යටතේත් ඒ සදහා මේ වන විට වඩාත්ම අවස්ථාව හිමි කර ගෙන සිටින මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරට යුපුන්ද  ඇතුළත්ව සිටියි.



මෙම 29 හැවිරිදි ක්‍රීඩකයා මෙම වසර තුළදී මේ වන විට ජාත්‍යන්තර තරග හතකට සහභාගි වී සිටින අතර එහිදි හොඳම කාලය තත්පර 10.16 කට වාර්තා කළේ මැයි 24 වැනිදා ජර්මනියේදී පැවැති තරගාවලියේදීය. එහෙත් වසර 2023 ජූලි මාසයේදී සූරිච් නුවරදී පැවැති තරගාවලියකදී මීටර් 100 (පිරිමි) ඉසව්ව තත්පර 9.96 කට නිමා කිරීමෙන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට යුපුන් පත්වූයේ එම කලාපයේ තත්පර 10 කට අඩුවෙන් මීටර් 100 ඉසව්ව නිමා කළ පළමු මිනිසා බවටද පත්වෙමිණි.

පැරිස් ඔලිම්පික් උත්සාහය සාර්ථක කර ගැනීම සදහා අවසන් මොහොත දක්වා උන්නදු වන බව පවසන යුපුන් ඒ සඳහා අවශ්‍ය වුවහොත් ජූනි 23 සිට 25 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන 102 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවීමට අදිටන් කර ගෙන සිටින බවද පවසයි.

ස්ටොක්හෝම් නුවරදී පෙරේදා යුපුන් සහභාගිවූ තරගාවලි දෙක වර්ගීකරණය අනුව කාන්ඩ දෙකක තරග මාලාවේ. කෙළින්ම තරග වැදීමෙන් නිර්දේශ ලබා ගැනීමේ අවස්ථාව ලොව පුරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජුනි 30 දක්වා හිමිව තිබේ.

(නාමල් පතිරගේ)