22-issue-election-post-ponned

ජනපති මැතිවරණය කල් දමා ගැනීමට දෙන්නෙකු කළ උත්සාහ අසාර්ථකවීමෙන් අනතුරුව 'ව්‍යවස්ථාවේ හිල් ' සොයා වසර 5 ජනපති ධූරය 6 දක්වා දිගු කරගැනීමට මේ වනවිට උත්සාහයක් දරමින් පවතී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට පිටුපාමින් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට ඊයේ පස්වරුවේ කටයුතු කළේය.
කැබිනට් මණ්ඩලය තුළ මත ගැටුමක් ලෙස මෙය පෙනෙන්නට තිබෙන අතර ජනාධිපතිවරණය අවසන් වන තුරු පනත් කෙටුම්පත ගැසට් නොකරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව ජනපති සිය බලතල ප්‍රකාරව මෙය ගැසට් කළේය. ජනතාවගේ සිත් තුළ ව්‍යාකූලත්වයක් ඇති කර තිබෙන මෙම ගැසට්ටුව ජනපති මේ වෙලාවේ ගෙන ඒම ගැන නිදහසට කරුණු කියමින් ඊයේ කතාවක් පවත්වා කියා ඇත්තේ ජනපතිවරණයට මෙමගින් බාධාවක් නැති කතාවකි.නමුත් එය ‍එසේ වේද යන්න ගැටලුවකි.


මැතිවරණ කොමිසමේ සභාපතිද මේ ගැන අදහස් දක්වමින් කියා ඇත්තේ  22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීම මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නොමැති බවය.
නමුත් දැනට ලැබෙන ආරංචි අනුව "ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට" බාධාවක් නොමැති නමුත් ජනපතිවරණය පැවැත්වීමට පෙර ජනමත විචාරණයක අවශ්‍යතාවක් ආවොත් හෝ පහද හයද යන අවිනිශ්චිතභාවය දිගටම තිබේ නම් කැඳවා තිබෙන ජනපතිවරණය වුවත් කල් දැමීමට සිදුවනු ඇත.

ගැසට්ටුව අකුළාගන්නා අවස්ථාවේ ඇමති විජේදාස කියා සිටියේ පනත් කෙටුම්පත නිසා ව්‍යාකූලත්වයක් ඇතිවන බැවින් එය ඉදිරියට ගෙන යෑමට අදහස් නොකළ බවය.
ඔහු පැවසූ ව්‍යාකූලත්වය කුමක්ද?
22 සංශෝධනය සිදුවන්නේ එක වචනයක වැරැද්දක් හදන්නටය. එනම් ව්‍යවස්ථාවේ එක්තැනක ජනපතිවරයාගේ ධූර කාලය ලෙස වසර 5 නම් කර තිබියදී තවත් තැනක 'සාවුරුද්දක් ඉක්මවා' ලෙස අවුරුදු 6 ක කතාවක් සටහන්ව තිබූ දෝෂය හදන්නටය. මෙම දෝෂය සිදුකර තිබුනේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදීය. ඉන් පසුව 20 හා 21 සංශෝධන සිදුවූවත් කිසිවෙකු මෙම වරද දැක නොතිබීම හාස්‍යයට කරුණකි. ඇරත් එය මේ අවස්ථාවේම ජනපති රනිල් ඇතුළු පිරිසට දෝෂය මතක්වීමද "කපටි උවමනාවක්" බව පෙන්නුම් කරයි.

"අවුරුදු 5 නොවේ 6" කතාව කැබිනට්ටුවට ගෙන එන්නේ ජනපතිය. එහිදී සම්මත වන කාරණාව ඊයේ ගැසට් කිරීම සමග ජනපති ධූර කාලය ගැන දැන් අර්බුදයක් මතුව තිබේ. එය 5 ද 6 ද යන්න නීතිමය වශයෙන් අවිනිශ්චිත කර තිබීම එම අර්බුදයයි.


මෙවැනි දෝෂයක් නිවැරදි කිරීම ගැන ව්‍යවස්ථාවේමෙ දන්වා ඇත්තේ එය පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් සම්මතකර ජනමත විචාරණයකින්ද ජනතාව අතින් සම්මත විය යුතු බවකි.නමුත් ඉතා පැහැදිලිව මීට පෙර අවස්ථා කිහිපයකදී ජනපති ධූරකාලය වසර 5 බව තීන්දු කර තිබියදී හා මැතිවරණ කොමිසම වසර 5 කට පසු එය පවත්වන්නට ප්‍රතිපාදන සලස්වද්දී මෙම 'වචන දෝෂය' වෙනුවෙන් බිලියන ගණනක් වැය කර ජනතාවගේ මතය විමසීම විහිළුවක් සේ පෙනෙයි.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දෝෂය පාර්ලිමේන්තු සම්මතයකින් පමණක් නිවැරදි කරන්නට හැකි යයි තීන්දුවකට ඒමට හැකිය. එය අදාළ තීන්දුව රට ගැන හිතා කරන එකක් නම්ය. මෑත කාලයේ ඇතැම් තීන්දු ගැන පවතින අවිනිශ්චිත තත්වය නිසා තීන්දු ක්‍රියාවලිය සංකීර්ණ බව පෙනෙයි.
බැරිවෙලාවත් ජනමත විචාරණයක්  අවශ්‍ය යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලොත් ජනාධිපතිවරණය සමග ජනමත විචාරණයක් ප්‍රකාශයට පත් කරන්නේ නම් ඒ දෙකම එකවර පැවැත්වීම මැතිවරණ කොමිසමට අභියෝගාත්මක කාර්යයක් වනු ඇත. අනිවාර්යයෙන්ම ජනපති තේරීම පසෙක තබා එය කල් තබන්නට සිදුවන්නේ වසර හයද පහද අවිනිශ්චිත බව නිරාකරණය කර නැති නිසාය.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය ‍ජනමත විමසුමක් අවැසි නැතැයි තීන්දු කරන්නේ නම් පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් පමණක් කතාව අවසන් කරන්නටද හැකිය. නමුත් තවදුරටත් ගැටලුව අවිනිශ්චිත වන්නේ පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් එය සම්මත නොවුනෝතින්ය.


පාර්ලිමේන්තුවේ බහුතර බලය රනිල් හා පක්ෂ කන්ඩායම් සතුව තවම පවතී. ඔවුන් මෙය අවශ්‍ය බහුතරයකින් සම්මත නොකළොත්
"අවුරුදු 5 නොවේ 6" අවිනිශ්චිත වැකිය තවදුරටත් පවතී. ඒ අනුව ජනපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසමට නොහැකිය.  ඉදිරි දින වල මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵල බලා මැතිවරණ කොමිසම කැඳවා තිබෙන ජනපතිවරණය පවා අවලංගු කර අවුරුදු 6 කට පසු එනම් තවත් අවුරුද්දකින් ජනපතිවරණය කැඳවන්නට ඉඩ තිබෙන බව වාර්තාවේ.
මේ අනුව පහද හයද යන විවාදයේදී පාර්ලිමේන්තුවේදී 2/3 සපයා ජනමත විචාරණයකට යාමකින් ජනපතිවරණය කල් යන අතරම 2/3 නොසපයා පරාජයට පත්කිරීමෙන්ද ජනපතිවරණය කල් යන තත්වයක් නිර්මාණය කරදී තිබේ. සියල්ල 'බැසිල් හසුරුවන' තත්වයක් නිර්මාණය කරදී ඇත.

'ජනතාවගේ ස්වාධිපත්‍යය තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ බවත් ව්‍යවස්ථාදායකයට අධිකරණය යටත් බවත්' ජනපති රනිල් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.