22-parliament

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 26 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ එම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවාද නැද්ද යන්න සභානායකවරයාගේ තීරණයක් බවයි.






විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය 18 වැනිදා නිකුත් කෙරිණ. එම ගැසට් නිවේදනය නිකුත් කර දින හතකදී එය පළමුවර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වේ.ඒ අනුව පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ආසන්නතම දිනය ලබන 26 සිකුරාදා බව ද නියෝජ්‍ය මහලේකම්වරයා කීවේය.


ජනාධිපතිවරයාගේ ධුර කාලය හයේ සිට පහක් දක්වා අඩු කිරීමට විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රතිපාදන සැලසේ. මේ අතර මෙම පනත් කෙටුම්පතින් මැතිවරණ කල් දැමීමට උත්සාහ දරන්නේ නම් ඊට දැඩි ලෙස විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ රැසක නායකයෝ පෙන්වා දෙති.

(සුජිත් හේවාජුලිගේ)