Piumis-revenue-drops-from-Rs-87-crore-to-Rs-12-crore-after-courier-says-only-3500-cream-sold

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට එරෙහි මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ කරන විමර්ශනය අතරතුර ඇය මාධ්‍ය වෙත පැමිණ කියා සිටියේ තමා සියල්ල හම්බ කරේ අහිංසක ලෙස ඉගෙන ගත් දෙයකින් බවත් ඒ ක්‍රීම් ව්‍යාපාරයක් නිසා බවත්ය.

එම ව්‍යාපාරයේ විශාල අලෙවියක් සිදු කළ තමා රුපියල් 35000 බැගින් ක්‍රීම් පැක් 25000 ක් අලෙවි වූ බවත්ය. ඒ ආශ්‍රිත බිල් පොහොර මළු ගණනාවක දමාගෙන තමා සීඅයිඩීයට පෙන්වන්නට රැගෙන ආ බවත්ය.
ඒ අනුව ඒ බිල්පත් අඩංගු ලිපි ගොනුද ඇය වාහනයේ ඩිකිය හැර මාධ්‍යවේදීන්ගේ කාමරාවට යොමු කළාය. කෙසේ වෙතත් ඇයට එදින සීඅයිඩියේ ප්‍රශ්න කිරීමක් නොකෙරුණ අතර ඇය එතැනින් ගියේ තමා ඊළඟට 'ප්‍රයිවෙට් ජෙට්' එකක්ද අරගෙන පෙන්වන බව කියමිනි.

කෙසේ වෙතත් 'ලොලියා' යන සමාගම යටතේ 'පියුමි ස්කින්' නමින් ඇයගේ සම සුදුකරන ක්‍රීම් වර්ග ඇතුළු නිෂ්පාදන බෙදාහැරීම් කළ කුරියර් සේවා ආයතන දෙකක් ගෙන්වා කළ ප්‍රශ්න කිරීමේදී ඇයගේ ‘ක්‍රීම් පැක්‘  අලෙවි වූයේ 3500 ක පමණ ප්‍රමාණයක් පමණක් බව පවසා ඊට අදාළ රිසිට් පත් ඉදිරිපත් කර ඇති අතර ඇය පවසා තිබූ 25000 ගණනට බවා බෙහෙවින් අඩු ප්‍රමාණයක් විය.පියුමි හංසමාලි කුරියර් ආයතන දෙකක් හරහා මෙම ක්‍රීම් වර්ග අලෙවි කර තිබූ අතර
ආයතන ප්‍රධානීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ‍‍කළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණ කර ඇත.

ඒ අනුව එම ක්‍රීම් අලෙවියෙන් තමන් රුපියල් කෝටි 87ක් උපයා ගත් බව පියුමි කියා තිබුණත් දැන් හෙළිවන්නේ පියුමිගේ එකම ආදායම ලෙස සඳහන් කළ ව්‍යාපාරයේ ක්‍රීම් අලෙවියෙන් ඇය උපයා ඇත්තේ කෝටි 12 ක් පමණක් බවයි.

එය වසර කිහිපයක ආදායම පමණක් වන අතර ලාභය නොවේ. ඇය ක්‍රීම් ආනයනය කළ ස්ථානයට ඇසුරුම් කළ ස්ථානයට සහ බෙදාහැරීම් ඇතුළු අනෙක් වැඩ වෙනුවෙන් කෝටි 12න් කොටසක් වැයකළ මුදල සැලකීමේදී ඒ ගණන් අඩුවිය යුතු අතර එලෙස ගණනය කළවිට ලැබී ඇති ලාභය ඇය ගත්තා යයි කියන වාහන ගෙවල් වලට වඩා බෙහෙවින් අඩු විය යුතුයයි අනුමාන කෙරේ.
පියුමි ඒ අනුව අපරාධ පරීක්ෂණය සඳහා ගෙන එන්නට ඇත්තේ කූඨ ලේඛනද යන්න ගැනද සැකයක් මතුවේ.
පියුමිගේ ආයතනය ලියාපදිංචි කර තිබුණද ආලේපන මෙරට ලියාපදිංචි කර තිබුනේද නැති නිසා සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ ගැටලුවකටද ඇය මුහුණපානු ඇත.
කෙසේ වෙතත් මෙරට තුළ දැනට රූපලාවණ්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සඳහා නීතිමය රාමුවක් හෝ නිශ්චිත පනතක් නොමැතිවීම හේතුවෙන් එලෙස ලියාපදිංචි නොකළ නිෂ්පාදනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට බාධාවක් තිබෙන බවද පසුගිය සතියේ හෙළි විය.

මේ අතර පියුමි හංසමාලිට අයත් බැංකු ගිණුම් සියල්ල ද මේ වනවිට පරීක්ෂාවට ලක්කරමින් පවතින අතර
ඇයගේ නමින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු ගෙන්වූ වාහනයක් ගැනද තොරතුරු හෙළි විය.

 ඒ සියලු විමර්ශන කටයුතුවලින් අනතුරුව ඇයගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.