Prednisolone-and-Domperidone-drugs-that-sickened-the-13-children-of-Mihintale-were-removed-from-hospitals

 මිහි­න්තලේ රජයේ රෝහ­ලෙන් ප්‍රති­කාර ගත් දරු­වන් 13 දෙනෙ­කුට අසා­ත්මි­කතා ඇති කළ ඖෂධ භාවි­තය තාව­කා­ලි­කව රජයේ රෝහල්වලින් ඉවත් කිරී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය පිය­වර ගෙන ඇත.
මේ දින­වල ප්‍රදේ­ශයේ පැතිර යන සෙම්ප්‍ර­ති­ශ්‍යාව සහ සෙම් රෝගී තත්ත්ව­යන්ට ප්‍රති­කාර ගැනී­මට මිහි­න්ත­ලය රජයේ රෝහ­ලට රැඟෙන ආ දරු­වන්ට predinisolone හා Domperidone ඖෂධ ලබාදී ඇති අතර එයින් ඇති වූ අසා­ත්මි­ක­තා­වක් හේතු­වෙන් දරු­වන් 13 දෙනකු වැඩි­දුර ප්‍රති­කාර සඳහා පෙරේදා (14) අනු­රා­ධ­පුර රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.


ඒ අනුව අසා­ත්මි­කතා ඇති කළ ඖෂධ වර්ග දෙක භාවි­ත­යෙන් ඉවත් කර අදාළ රසා­ය­නා­ගාර පරී­ක්ෂණ සඳහා කොළඹ එවූ බව අනු­රා­ධ­පුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිලිප් එච්. ලිය­නගේ මහතා දන්වා තිබුණි.
අනතුරුව ඊයේ සවස වාර්තාවූයේ වමනය සහ ඉදිමුම් රෝග සඳහා භාවිත කරන ප්‍රකට ඔෂධ වර්ග දෙකක් වන -Prednisolone හා Domperidone ඖෂධ දෙකම රජයේ සියලු රෝහල් වලින් ඉවත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරැාල් වරයා තීරණය කළ බවය.


මිහින්තලේදී වයස අවු­රුදු 5 -11 අතර දරු­වන්ට සිදුවූ මෙම අසා­ත්මි­ක­තාව සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂ­ණ­යක් මේ වන විට ආරම්භ කර ඇති බවත් මෙම අසා­ත්මි­ක­තා­වය ඖෂ­ධ­යක් මගින් සිදුවූ වාද යන්න පරීක්ෂා කරන අතර මෙවැනි තත්ත්ව­යක් මිහි­න්ත­ලය ප්‍රදේ­ශ­යෙන් හැර අනු­රා­ධ­පුර වෙනත් කිසිදු ප්‍රදේ­ශ­ය­කින් වාර්තා නොවූ බවත් රෝහල් අධ්‍ය­ක්ෂ­ව­රයා කීවේය. අධ්‍ය­ක්ෂ­ව­රයා මේ බව පැව­සුවේ සමාජ මාධ්‍ය­වල හා පුද්ග­ල­යන් අතර පැතිර යන අසත්‍ය ප්‍රචාර හේතු­වෙන් අනු­රා­ධ­පු­ර­යේදී ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමු­ව­ක­දීය.

මෙම තත්ත්වය ප්‍රදේ­ශ­යට ආවේ­ණික යම් වෙනත් කට­යු­ත්තක් හෝ අසා­ත්මි­ක­තා­වක් හේතු­වෙන් සිදු වූවාද යන්න සැක­යක්ද පව­තින බවත් පැවසේ.



මෙය කිසිදු එන්න­තක් හේතු­වෙන් හට­ගත් අසා­ත්මි­ක­තා­වක් නොවන බවත්, එම නිසා එන්නත් ලබා­දීම සම්බ­න්ධ­යෙන් අනි­යත බියක් ඇති නොකර ගන්නා ලෙසද සියලු ශ්‍රී ලාංකි­ක­යින් ඉල්ලා සිටින බව ද ඒ මහතා වැඩි දුර­ටත් සඳ­හන් කළේය.

සෙම් වෛර­සය සඳහා අවශ්‍ය බෙහෙත් ලබා ගෙන තම දරු­වන් නිව­සට රැගෙන ගොස් එම බෙහෙත් වරු දෙකක්, තුනක් ලබා දෙන විට, එක පාරම දරු­වන්ගේ කට­වල් ඇදවී, දිව එළි­යට ඇවිත්, බෙල්ල කඩා වැටීමේ අසා­ත්මි­ක­තා­වක් ඇති වීම හේතු­වෙන්, තමන් දැඩි බියට පත්වූ බව මෙහිදී මවු­පි­යන් පිරි­සක් සඳ­හන් කළේය.

මෙලෙස අසා­ත්මි­ක­තා­වක් ඇති වීම හේතු­වෙන් යළි මිහි­න්තලේ රෝහ­ලට ඇතු­ළත් කළ තම දරු­වන්, වැඩි දුර ප්‍රති­කාර සඳහා අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහ­ලට යැවූ බව ද එම මවු­පියෝ පැවැ­සූහ.
(අනු­රා­ධ­පුර  - සශිනි මධු­ෂානි)