The young man who killed the aunt next door with a palm fruit

පෞද්ගලික ආරවුලක් මත මැල්සිරිපුර, වටවන ප්‍රදේශයේදී 79 හැවිරිදි කාන්තාවකට දෙල් ගෙඩියකින් හිසට පහරදී ඝාතනය කළ බව කියන 25 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මැල්සිරිපුර පොලිසිය පවසයි.



අවුරුදු 79 ක් වයස කාන්තාව කෑමට ගෙනැවිත් තිබූ දෙල්ගෙඩියකින් පහරදී ඝාතනය කළේ යැයි කියන තරුණයා  අසල්වැසියකු වන බවත් කසිප්පු පානය කර මෙම කාන්තාව පදිංචිව සිටින නිවෙසට පැමිණ අසභ්‍ය වචන කියා කෑ කෝ ගසමින් ඇය සමග ආරවුලක් ඇති කරගෙනතිබූ බවත් පොලිසිය සඳහන් කරයි.



ඝාතනයට ලක්ව ඇත්තේ මැල්සිරිපුර, පිටපහ, වටවන ප්‍රදේශයේ හේවා පේඩිගේ ඇසිලින් නමැති වයෝවෘද්ධ කාන්තාවකි.

මෙම පුද්ගලයා නිවෙසේ පිටුපස තබා තිබූ දෙල් ගෙඩියක් ගෙන වැරෙන් පහරක් එල්ල කිරීමේ දී එම දෙල් ගෙඩිය ඇයගේ හිසේ වැදී එතැනම ඇද වැටී ඇතැයි පොලිසිය කියයි.බිම ඇද වැටුණු කාන්තාවගේ නාසයෙන් ලේ ගලා ගොස් ඇති අතර මෙම නිවෙසට යාබදව පදිංචිව සිටින ඇගේ දරුවන් විසින් ඇය වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති නමුත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම කාන්තාව මියගොස් ඇත.

මරණයට සම්බන්ධ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට යොදාගත් දෙල් ගෙඩිය පොලිසිය භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.