The-pregnant-mother-a-27-year-old-Japura-graduate-died-because-of-the-doctors-mistakes

මන්නාරම දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා 27 හැවිරිදි තරුණ මවක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මියගිය තරුණ කාන්තාවගේ මව සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

දරු ප්‍රසූතියෙන් පසු සිදුවන අධික රුධිර වහනය නොසලකා හැර සිහි සුන්ව මැරෙන්නට අත්හල බව කියන මේ තරුණ මව මන්නාරමේ තම්පනායීකුලම් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපාධි ධාරණියකි.

දරු ප්‍රසූතියක් සඳහා මන්නාරම මූලික රෝහලට ඇතුළත් කරන තරුණ මව දරු ප්‍රසූතියෙන් පසු සිදුවෙමින් තිබූ රුධිර වහනය නොසලකා ඇයව රෝහලෙන් නිවසට එවා තිබේ.



පසුදින සිටම ඇයට බරපතල ලෙස රුධිරය වහනය වීමට පටන් ගෙන ඇති අතර ඇය මුරුන්කන් රෝහලට ඇතුළත් වීමෙන් පසුව තත්ත්වය අසාධ්‍ය බැවින් ගිලන් රථයක් මගින් මන්නාරම දිස්ත්රික් රෝහල වෙත මාරු කොට යවා ඇත.

එම අවස්ථාවේදීත් වෛද්‍යවරු රුධිරය වහනය වීම සාමාන්ය තත්ත්වයක් ලෙස සලකා සිය දියණියට ප්‍රතිකාර ලබා දීමක් සිදු නොකළ බව මියගිය තරුණ කාන්තාවගේ මව වන කන්යාරා මල්කා මාධ්‍යයට ප්‍රකාශ කළාය.



අවසානයේදී අධික ලෙස රුධිරය වහනය වීම නිසා සිය දියණිය සිහිසුන් වූ බවත් වෛද්‍යවරු ප්‍රතිකාර සදහා ඇය පරීක්ෂා කර ප්‍රතිකාර ක්‍රමවේදයන් ඇරඹුවේ ඉන් පසුව බවත් කියන තරුණ කාන්තාවගේ මව ස්වල්ප වේලාවකින් අනතුරුව සිය දියණිය මිය ගිය බව හඬා වැටෙමින් කීවාය.

මන්නාරම දිස්ත්රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසාද් එම් හනීෆාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු විමසූ විට ඔහු පැවසුවේ මියගිය කාන්තාව සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධික ලෙස රුධිරය වහනය වීම නිසා හා කම්පනය නිසා මේ මරණය සිදු වූ බවට මූලිකව නිගමනය වී ඇති බවයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ඇගේ දේහයේ අවයව කීපයක් කොළඹට යවා ඇති අතර එම පරීක්ෂණවලින් පසුව මේ තරුණ මව මියයාමට හේතුව නිශ්චිතව නිගමනය කළ හැකි බවද හෙතෙම පැවසීය.

එම පරීක්ෂණවලදී වෛද්යවරුන්ගේ නොසැලකිල්ල මත මේ මරණය සිදුව ඇත්නම් එම වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සඳහන් කළ වෛද්‍ය අසාද් එම් හනීපා දැනටමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවද පැවසීය.