Tomorrow-26-the-Olympic-festival-will-start-in-Paris

සෑම සිව් වසරකටම වරක් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළියේ මෙවර නවාතැන වී ඇත්තේ ප්‍රංශයේ පැරිස් නුවරයි. ඒ අනුව මේ මස 26 වැනිදා (හෙට) සමාරම්භක උළෙල පැවැත්වීමෙන් ඇරඹෙන 2024  පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල දින 16 කින් අනතුරුව අගෝස්තු මස 11 වැනිදා පැවැත්වෙන සමාප්ති උළෙලෙන් අවසන් වීමට නියමිතයි. වර්ෂ 1924 දී පැරිස් නගරය ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වීමෙන් හරියටම  වසර සියයකට පසුව නැවතත් 2024දී  ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වීම සුවිශේෂ කාරණයක්.   
මේ සමඟ ප්‍රංශය ඔලිම්පික් ක්‍රීඩා උළෙලක්  සඳහා සත්කාරකත්වය දරන 6 වන අවස්ථාව මෙය වනවා. මෙතෙක් වැඩිම වාර ගණනක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය දක්වා ඇති රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. එම  අවස්ථා ගණන 8ක්. මෙවර  පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් බිලියන 8 යි දශම 2ක් වී  තිබෙනවා.  2024 වසරේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වීමෙන් පසුව  ඔලිම්පික් ක්‍රීඩා උළෙල 3 ක් පවත්වා ඇති දෙවන නගරය බවට පැරිස් පත්වනු ඇති.  ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය තුන් වරක් දක්වා ඇති අනෙක් නගරය වන්නේ ලන්ඩන් නගරයයි.
 
 
ඔලිම්පික් ක්‍රීඩා උළෙල යනු පෘථිවිය මත දිගහැරෙන අසහාය මිනිස් හැකියාවන්ගේ  සුසංයෝගයයි . එය හුදු ක්‍රීඩා උළෙලක් නොව මිනිස් සංහතියේ පොදු සංවේදනා විදහාපාන ලොව ඇති එකම සහ සුවිසල්ම  අවස්ථාව ලෙස හඳුනාගෙන තිබෙනවා.  
මේ වන විට  ඔලිම්පික් ක්‍රීඩා උළෙල සමස්ත ලෝකයේම ආර්ථික, දේශපාලනික සහ සමාජයීය කාරණා වෙත සිදු කරන්නේ ප්‍රබල බලපෑමක්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්විය හැක්කේ ලොව ප්‍රබලතම රාජ්‍යයන්ට පමණක් වීමත් එසේම එය අභිමානයේ  සහ ප්‍රෞඩත්වයේ සංකේතයක් වීමත් විශේෂත්වයක්. ක්‍රීඩා උළෙලක් ලෙස ගත් කළ , ජය පරාජය, දුක සතුට, හමුවීම වෙන්වීම, දරාගැනීම, අධිෂ්ඨානය, අප්‍රතිහත කැපවීම සහ ධෛර්ය යන මිනිස් ගුණාංග වල පිළිබිඹුවක් ලෙස මෙය  හැඳින්විය හැකියි. එසේ හෙයින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක්  වර්ණවත් වන්නේ ක්‍රීඩාව නිසාම නොව ඒ හා බැඳුණු තවත් බොහෝ කාරණා ඔලිම්පික් පසුබිම තුළ තැන්පත්ව තිබීම නිසායි.  2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹුමට දින කිහිපයක් තිබියදී මෙම  ලිපිය සැකසෙන්නේ එම  අසමසමබව ඔබ වෙත ගෙන ඒම  සඳහායි.  
 
ඔලිම්පික් සහ නූතන ඔලිම්පික්
 
ලෝකයේ පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ක්‍රි.පූ 776 දී ග්‍රීසියේදී  පැවැත්වූ බව ඉතිහාසයේ සඳහන් වනවා. පසුව රෝමයේ විසු තියෝඩියෝස් නම්  අධිරාජ්‍යයා ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම තහනම් කිරීම හේතුවෙන් එයින් පසුව  වසර 1500 ක් මෙම ක්‍රීඩා උළෙල පැවැත්වුයේ නැහැ. ඒ අනුව  අද අප දකින නූතන  ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වන්නේ  1896  වසරේදීයි. මෙයින් අනතුරුව  සෑම සිව් වසකටම වරක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත් වූ අතර 1916 දී පළමු ලෝක යුද්ධයත් 1940 දී සහ 1944 දී දෙවන ලෝක යුද්ධයත් නිසා ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට හැකි වුයේ නැහැ. පසුගිය  2020 වසරේදී  කොවිඩ් 19 නිසා පැවැත්වීමට නොහැකි වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 වසරේදී පැවැත්වීමට සංවිධාකයන්ට සිදු වුණා.
 
 
ඔලිම්පික් ගිනි සිළුව සහ පැරිස් මැස්කොට්
 
ග්‍රීකයේ  පැවැත් වූ ප්‍රථම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී  දල්වා තැබූ ඔලිම්පික් ගිනි සිළුව සමරමින් නුතනයේදී  ඔලිම්පික්  පන්දම ලෝකය පුරා රැගෙන යාම සිදුකරනවා.   මේ වන විට පෘතුවියේ සිට ලඟා විය හැකි සෑම ස්ථානයකටම ඔලිම්පික් පන්දම රැගෙන ගොස් තිබීම විශේෂත්වයක්. ඒ අනුව  සාගර ගැඹුරේත්, අභ්‍යවකාශය තුළත්  පමණක් නොව එවරස්ට් කඳු මුදුනද තරණය කිරීමට ඔලිම්පික් පන්දමට හැකි වී තිබෙනවා.


18 වැනි ශත වර්ෂයේදී සිදු වූ ප්‍රංශ විප්ලවයේදී භාවිතා වූ කුඩා හිස් වැසුමක්  අනුසාරයෙන්   මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මැස්කොට් නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව එය නම් කර ඇත්තේ "ප්‍රිජියි "ලෙසයි. ප්‍රංශ විප්ලවයේදී සිදු වූ පරිදිම   ක්‍රීඩාව තුළින් පරිවර්තනයක් ඇතිවනු දැකීම මෙම මැස්කොට් නිර්මාණයේ අරමුණ වී තිබෙනවා. වසර 3000 ක ඉතිහාසයක් ඇති ප්‍රිජියන් කතාවෙන්  සකසා ගත් "ප්‍රිජියි" එලෙස  උච්චාරණය කළද බොහෝ දෙනා පවසන්නේ එය නිවැරදිව උච්චාරණය කිරීම  අපහසු කටයුත්තක් බවයි.
 
 
ඔලිම්පික් සංවිධාන ව්‍යූහය
 IOC හෙවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේ නිසි බලධරයා ලෙස කටයුතු කරනවා.  සෑම අවස්ථාවකදීම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට  කිසියම් ක්‍රීඩාවක් ඇතුළත් කිරීමේ සහ ඉවත්කිරීමේ බලය හිමිවන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවටයි. ඒ අනුව 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ඇතුලත් වූ බේස් බෝල්, කරාටේ,සහ  සොෆ්ට් බෝල් මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුලත්ව නැති අතර   බ්රේක් ඩාන්සින් සහ කයක් ක්‍රොස් වැනි ක්‍රීඩා ප්‍රථම වරට ඇතුලත්ව තිබීමත් විශේෂත්වයක්.  ක්‍රීඩාව වඩාත් පුළුල්ව සහ විවෘතව  යන සංකල්පය ඔස්සේ ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසය තුළ ක්‍රීඩා ලෝලීන් මෙතෙක් අත් නොවිඳී නවතාවයකින් සහ  සිනමාත්මකව සිය විකාශනය සිදු කිරීමට  IOC හෙවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ OBS  හෙවත් ඔලිම්පික් විකාශන සේවය මෙවර   පියවර ගෙන තිබෙනවා. ක්‍රීඩාවේ චමත්කාරයට අමතරව  තවත් බොහෝ දේවල් සමඟින් ක්‍රීඩා ලෝලීන් නවමු තලයකට ඔසවා තැබීම ඔවුන්ගේ අරමුණයි.
 
පදක්කම් නිර්මාණය
   
 නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමෙන් අනතුරුව 1912  වසර වනතෙක් පැවැත් වූ සියලුම ඔලිම්පික් ක්‍රීඩා උළෙලවලදී කිසියම් තරග ඉසව්වක ප්‍රථම ස්ථානය සඳහා  පිදෙන රන් පදක්කම පූර්ණ  වශයෙන් රනින් නිමකිරීම ඔලිම්පික් ඉතිහාසයේ රන් සලකුණක්. කෙසේ වෙතත් ඉන් අනතුරුව රන් පදක්කමක් සඳහා  රත්‍රන්  ග්‍රෑම් 6ක් පමණක්  භාවිතාකිරීමට තීරණය කර තිබෙනවා. මේ වන විට රන්, රිදී, ලෝකඩ වශයෙන් පිරිනැමෙන පදක්කම් ප්‍රමාණය  5000කට අධිකයි.  මෙවර 2024 ඔලිම්පික් උළෙල සඳහා නිපදවෙන සෑම පදක්කමක්   සඳහාම  අයිපල් කුළුණෙන් ලබාගත් යකඩ  එක්  කර තිබීම  සුවිශේෂ කාරණයක්.
 
ඔලිම්පික් බලගැන්වෙන නවතම තාක්ෂණය

මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල   AI හෙවත් කෘතීම බුද්ධිය මගින් බල ගැන්වීමට සංවිධායකයන් තීරණය කර තිබෙනවා. ඒ අනුව  සිකුයුරිටි කැමරා සඳහා මෙන්ම තරග තීරණ සඳහාත්   AI තාක්ෂණය භාවිත කිරීමට කටයුතු කර තිබීම කැපී පෙනෙන ලක්ෂණයක්.
අති සුපැහැදිලි 8k තාක්ෂනය ඔස්සේ සජීවීව තරග විකාශනය සිදුවන අතර  පැය 11 000 ක කාලයක් පුරා  මෙවර ඔලිම්පික් ආවරණය සිදුකරනු ඇති.
 
 
ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තරග ඉසව්.



2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 500ක් පමණ සහභාගිවීමට නියමිත අතර ප්‍රථම වරට එම ගණන  සියයට 50ක් කාන්තාවන්  සහ සියයට 50 ක් පිරිමි ලෙස බොහෝ දුරට සමානව බෙදී තිබීම විශේෂත්වයක්.  ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ඔලිම්පික්හිදී   ක්‍රීඩා ඉසව් 32 ක් යටතේ තරග අංශ 339 කට  සහභාගීවීමට නියමිතයි.

ඔලිම්පික් හිමි පදක්කම් අහිමි රටවල්

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යටතේ රටවල් 206 ක් සම්බන්ධ වී සිටින අතර ඒ සෑම රටකින්ම අඩුම තරමේ එක් ක්‍රීඩකයෙකු හෝ මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල  සඳහා සහභාගී වනවා.  ඔස්ට්‍රේලියාවේ  උතුරු දෙසින් පැසිපික් සාගරයේ පිහිටා ඇති නවුරු දිවයින ජනගහනය අතින් ඔලිම්පික් සඳහා සහභාගී වන කුඩාම රාජ්‍යයයි. එහි ජනගහනය 12 100ක් පමණ වනවා. මිලියන 171 කට අධික ජනගහනයක් සිටින බංග්ලාදේශය මෙතෙක් ඔලිම්පික් පදක්කමක් දිනා නොගත් වැඩිම ජනගහනයක් සිටින රට ලෙස වාර්තා වනවා. ඔලිම්පික් සඳහා සාමාන්‍යයෙන් රටවල්  200 ක් පමණ සහභාගී වන අතර ඒ අතරින් මෙතෙක්  කිසිදු පදක්කමක් දිනා නොගත් රටවල් ගණන 60 ක් පමණ වෙනවා. එයිනුත්  වඩාත් හඳුනාගත හැකි රටවල් ලෙස බොලීවියා, කාම්බෝජියා,හොන්ඩුරාස්, නේපාලය සහ යේමනය වැනි රටවල් හැඳින්විය හැකියි. සියවසක් පුරාවට 21 වරක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කර තිබෙන මොනාකෝ රාජ්‍යයට තවමත් ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමට නොහැකි වී තිබීමත් විශේෂත්වයක්.
 
ඔලිම්පික් -ශ්‍රී ලංකාව  සහ පැරිස්.

මෙවර 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙක් සහභාගී වනවා.
ඒ  ධාවන  සහ පිටිය ඉසව් සඳහා තුන් දෙනෙක්,  පිහිනුම් සඳහා දෙදෙනෙක් සහ   බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා එක්  අයෙක්  වශයෙන්. මෙහිදී  තරුෂි කරුණාරත්න මීටර් 800 කාන්තා ධාවන ඉසව්ව සඳහාත්, දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහාත්,  අරුණ දර්ශන මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහාත් සහභාගී වීමට නියමිතයි. පිහිනුම් තරග අංශයෙන් කයිල් අබේසිංහ සහ ගංගා සෙනෙවිරත්න පැරිස් ඔලිම්පික් තරග සඳහා සහභාගී වන අතර විරේන් නෙත්තසිංහ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇති.  1948 සිට ඔලිම්පික්  ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකාව 1976 දී කැනඩාවේ මොන්ට්‍රියල් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට හැර අනෙකුත් සෑම උළෙලකටම  සහභාගී වී තිබෙනවා. මෙතෙක් කාලය තුළ ශ්‍රී ලංකාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී රිදී පදක්කම් දෙකක් දිනාගෙන ඇති අතර ඒ දෙකම හිමිකරගෙන ඇත්තේ මලල ක්‍රීඩාවෙනුයි. 1948 ලන්ඩන් නුවරදී ඩන්කන් වයිට් පිරිමි මීටර් 400 කඩුලු මතින් පැනීම තරග ඉසව්වේදී රිදී පදක්කම දිනාගත් අතර 2000දී පැවති සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ සුසන්තිකා ජයසිංහ කාන්තා මීටර් 200 තරග ඉසව්වේදී රිදී පදක්කම දිනාගත්තා. ඉන් අනතුරුව පසුගිය වසර 24 තුළ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කිසිදු ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට හැකි වුයේ නැහැ. ක්‍රීඩකයෙකුට ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමට අවශ්‍යනම්  ඔහු හෝ ඇය ඒ සඳහා කැපකළ යුතු කාලය, දැරිය යුතු වෙහෙස සහ රඳවා තබා ගත යුතු කායික මානසික ශක්තිය කොපමණද යන්න මේ අනුව සිතා ගත හැකියි. සෑම වරකදීම ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලොව අග්‍රගන්‍ය ක්‍රීඩා සැණකෙළිය වන්නේත් ඒ නිසාමයි. ඔලිම්පික් ජයග්‍රහණයක් යනු බිලියනයක පිරිසකගෙන් එක් අයෙකුට පමණක් හිමිවන අති සුවිශේෂී අවස්ථාවක්. එසේම ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සිය ජිවිත කාලය තුළ සජීවීව නැරඹීමට අවස්ථාවක් හිමිවීමද අතිශය දුර්ලභ අවස්ථාවක්.
ඔලිම්පික් යනු මිහිමත මැවෙන විශ්මයේ සැණකෙළිය වන්නේ එනිසායි. 

(සුනිල් සෝමසිරි  - ප්‍රතිචාර- sunilinsports@gmail.com)