When-they-went-to-catch-Kasippu-they-tried-to-bomb-the-police

තලාව පොලිස් වසමේ කරගහවැව, සුමුදුගම ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් වැටලීමට ගිය තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිවු දෙනකුට එම ජාවාරම්කරුවන් පෙරේදා 3  වැනිදා රාත්‍රි අත්බෝම්බයකින් දමා ගැසීමට උත්සාහ දැරීමෙන් පසු තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල කර ඇතැයි තලාව පොලිසිය පවසයි.මෙලෙස බරපතළ තුවාල ලැබූ තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්. එම්.එම්.කේ. ලංසක්කාර මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.



පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියන්ත චන්ද්‍රසිරි (47), පොලිස් සැරයන් ඩබ්ලිව්.ඩී.අයි.ආර් වීරසිංහ (35), පොලිස් කොස්තාපල් ප්‍රදීප් සරත් කුමාර (39) යන නිලධාරීහු තලාව රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.එම නිලධාරීන්ට අත්බෝම්බයකින් දමා ගැසීමට ගිය ප්‍රධාන ජාවාරම්කරු ඔහුගේ පුත්‍රයා සහ කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු එම අත් බෝම්බයද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.




මෙම පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ, අංක 42 ලිපිනයේ පදිංචි 44  හැවිරිදි ප්‍රධාන මත්පැන් ජාවාරම්කරු ඔහුගේ පුත්‍රයා ඥාති කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකි.යුක්තියේ මෙහෙයුමට සමගාමීව පෙරේදා 3 වැනිදා රාත්‍රි 8.10ට පමණ ලැබුණු තොරතුරකට අනුව තලාව පොලිසියට අනුයුක්තව රාජකාරී කරන පොලිස් පරීක්ෂක චන්ද්‍ර සිරි ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් තලාව සුමුදුගම ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනය කර බෙදාහරින ස්ථානයක් වෙත ගිය අවස්ථාවේ මෙම පහරදීම කර ඇති බව පොලිසිය කියයි.


නිලධාරී කණ්ඩායම එම ස්ථානයට ගිය අවස්ථාවේදී, ප්‍රධාන මත්පැන් ජාවාරම්කරු ඔහුගේ පුත්‍රයා ඇතුළු ඥාති පිරිසක් පැමිණ පොලිස් නිලධාරීන්හට බැණ තර්ජනය කර පහර දීමට සූදානම් වූ අවස්ථාවේදී,

පොලිස් නිලධාරීන් පිළිබඳව දුරකතනයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.ඉන් අනතුරුව තලාව පොලිස් ස්ථානාධිපති ලංසක්කාර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණීමත් සමග සැකකරුවන් පිරිස ස්ථානාධිපතිවරයාට මන්නා පිහියකින් පහරදී හිසට සහ එක් අතකට බරපතළ තුවාල සිදු කිරීම හේතුවෙන් ඒ මහතා බරපතළ තුවාල ලබා තලාව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.


අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඒ මහතා ශල්‍යකර්මයකට භාජනය කළ බව ද අනුරාධපුර රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. පහර කෑමට ලක් වූ අනෙක් නිලධාරීන් තිදෙනා තලාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව ද තලාව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.අත්අඩංගුවට ගත් සැකකරුවෝ සහ සැකකාරියෝ අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
 බී.ජී. චතුරංග