agbo-elephant-drone-incident

ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ නිසි අවසරයක් ලබා නොගෙන තිරප්පනේ පොලිස් වසමේ ඇතුන්ගම ප්‍රදේශයේ ඉහළ අහසට ග්‍රෑම් 750ක් පමණ බරැති අධිතාක්ෂණික ඩ්‍රෝන කැමරාවක් නීතිවිරෝධීව ගුවන්ගත කර ඇතුන්ගම ප්‍රදේශයේ සැරිසරමින් සිටි අග්බෝ ඇතා වීඩියෝගත කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා තිරප්පනේ පොලීසියට ඊයේ (18දා) නියෝග කළේය. 




අධිකරණය ලබා දුන් නියේගයකට අනුව මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අධිකරණයට දැනුම් දුන්නේ, ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ පූර්ව අවසරයකින් තොරව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පූර්ව දැනුම් දීමකින් තොරව තිරප්පනේ ඇතුන්ගම ප්‍රදේශයේ ඉහළ අහසට අධිතාක්ෂණික ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ අවස්ථාවේ යම් හෙයකින් එම ප්‍රදේශයේ ඉහළ අහසේ ගුවන්යානයක් පියාසර කළේ නම් අනතුරක් ඇති වීවේ අවදානමක් තිබූ බවයි.

ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කිරිම  නිසා අග්බෝ ඇතා කලබලයට පත්ව ඇති බවද ගුවන් හමුදාව අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධියේ සැකකරු සමග පොලිස් භාරයට ගෙන අධිකරණ භාරයේ තබා තිබූ ඩ්‍රෝන කැමරාව අධිකරණ නියෝග මත එහි අයිතිකරුට මුදා හැරිණ. අදාළ ඩ්‍රෝන කැමරාව සමග තිරප්පනේ පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රද්ධා ගුවන්විදුලි හා රූපවාහිනි ආයතනයේ වැඩසටහන් අංශයේ සේවකයා දැනට ඇප මත මුදා හැර සිටියි. මෙසේ ඇප මත මුදා හැර සිටිනුයේ මහව කුඹුක්වැව සුමුදු මාවත අංක 147 ලිපිනයේ ආර්.එම්. රසික තිලකරන්න නමැත්තෙකි.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් පොලිස් සැරයන් (7854) එදිරිසිංහ මහතා මූලික කරුණු දැක්වීම්වලදී කියා සිටියේ, තම ගුවන් සේවා අධිකාරියේ කිසිදු අවසරයකින් තොරව තිරප්පනේ ඇතුන්ගම ප්‍රදේශයේ ඉහළ අහසේ අධිතාක්ෂණික ඩ්‍රෝන කැමරාවක් පියාසර කරන බවට මීගම සිවිල් ගුවන් සේවා අධිකාරි  මධ්‍යස්ථානය මගින් තිරප්පනේ පොලීසියට දැනුම් දීමක් කළ බවයි.

එකී දැනුම් දීමට අනුව විමර්ශන මෙහෙයවා නීතිවිරෝධීව තිරප්පනේ ඇතුන්ගම ප්‍රදේශයේ ඉහළ අහසට නංවා තිබූ අදාළ ඩ්‍රෝන කැමරාව සහ එය පරිපාලනය කරමින් සිටි සැකකරු පොලීසිය අත්අඩංගුවට ගත් බවද සැරයන්වරයා කීවේය.

පැමිණිල්ල වෙනුවෙන් තිරප්පනේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් කුමාරසිංහ මහතාගේ උපදෙස් මත සැරයන් (7854) එදිරිසිංහ මහතා පෙනී සිටි අතර, සැකකරු වෙනුවෙන් නීතිඥ චින්තක බණ්ඩාර මහතා පෙනී සිටියේය. තිරප්පනේ පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. ධනපාල මහතාගේ මෙහෙයවීම මත සැකකරු සමග ඩ්‍රෝන කැමරාව අත්අඩංගුවට ගෙන තිබිණි.
 උපාලි ආනන්ද