ali-sabri-rahim-arrested

2pm update
මද්‍රසා පාසලකට බලහත්කාරයෙන් ඇතුළුවීම සහ අනර්ථය යන චෝදනා යටතේ, පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙයි.
11 am update
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට පසුගියදා වරෙන්තු නිකුත් කෙරුණු අතර අද කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව අලි සබ්රි රහීම් ව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අලි සබ්‍රි රහීම් අත් අඩංගුවට ගැනීම සඳහා කල්පිටිය සංචාරක උසාවිය විසින් වරෙන්තු නිකුත් කර තිබුණේ ජුලි 08 වනදා ය. ඒ, රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ගොඩනැගිල්ලක් බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුවකදී තුන්වැනි වරටත් අධිකරණය මඟහැර සිටීම හේතුවෙනි.

කෙසේවෙතත් වරෙන්තුව තිබියදීත් ඔහු පොලිස් ආචාර ද මැද ජුලි 16 වනදා කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ පැවැති උත්සවයක ප්‍රධාන අමුත්තකු වශයෙන් ද සහභාගී වී තිබිණි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා පසුගිය දිනවල මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබුණේ සිය රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය අවභාවිතා කරමින් කටුනායක ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තය හරහා නීතිවිරෝධී ලෙස මෙරටට රත්‍රන් සහ ජංගම දුරකථන තොගයක් ගෙන ඒමේදී හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.