altair-tradagy

කොම්පඤ්ඤවිදිය අල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ලෙහි 67 වන තට්ටුවෙන් වැටුණ සිසු යුවළ සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (4) ප්‍රකාශ කළේය.
තවදුරටත් අදාල පරීක්ෂණ කටයුතු කර අවසන් තීන්දුව ඒඅනුව ලබාදෙන්නට නියමිතය.

 සිසු යුවළ මේ ස්ථානයට එන්නේ ඉමාම් නමැති ඔවුන් දෙන්නාගේ පන්තියේම ඉගෙනුම ලබන පකිස්තාන ජාතික සිසුවෙකුගේ පියාට අයත් නිවාස ඒකකයක් වෙතය. එම නිවාස ඒකකයට මෙම යුවළ මින් පෙර අවස්ථා ගණනාවකදී මිතුරා හමුවට පැමිණ ඇති අතර පිටස්තරයන්ට ඇතුළුවීමට අවසර ගැනීම අසීරු මෙම ගොඩනැගිල්ලට ඔවුන්ට ඇතුළුවන්නට අවසර ලැබෙන්නේ පෙර අවසර ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසය.
කෙසේ වෙතත් ඔවුන් එදින පැමිණෙන අවස්ථාවේ මිතුරා එම ස්ථානයේ නොසිටි නමුත් ඔවුන්ට එහි ඇතුළුවීමට අවසර ලැබේ.
5 වන තට්ටුවේ ශාරීරික ව්‍යයාම කරන ස්ථානයට මුලින්ම ගොස් පාසල් ඇඳුම් මාරුකරන යුවළ අඳුරැ පැහැයට හුරු නව ඇඳුම් හැඳගනී.අනතුරුව සිසුවිය පමණක් එහි සිටියදී සිසුවා යළි පහළ තට්ටුවට පැමිණෙන අයුරු සීසීටීවී වල සටහන්ව ඇත.ඔහු කිසිවෙකුට 'ලොකේෂන්' කියමින් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ නවතා තිබෙන මෝටර් සයිකලයක පුද්ගලයෙකුගෙන් 'ඩිලිවරි පාර්සලයක්' ලබාගනී.
ඔහු අතට සිගරට් ලබාදුන් බව පොලිසිය කියයි.


මෙම අවස්ථාවේ ඔවුන්ට මත්ද්‍රව්‍ය ලැබුනේද යන සැකය පැනනැගුණත් අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මෙසේ කීය.
"එවැනි කිසිම ආකාරයක අනාවරණ වීමක් නැහැ... මේ දැනට වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබිලා නැහැ. නමුත් අපිට තියෙන මෙතෙක් කරන ලද නිරීක්ෂන අනුව ඒ දරුවන් මත්ද්රව්ය පාවිච්චි කළ බවට හෝ එවැනි තොරතුරක් අනාවරණ වීමක් නැහැ. නමුත් වෛද්‍ය වාර්තා අනුව තමයි යම් දෙයක් ශරීරගත වෙලා තියෙනවද කියන එක අනාවරණය කරගන්න පුළුවන් වෙන්නෙ'"

මේ අතර යුවළ එදින කළකිරීමකින් සිටි බවත් සිසුවියගේ පාසලින් ඇයව එදින ඉවත් කර තිබූ බවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවතට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා

"මේ ආකාරයේ කිසිම අනාවරණයක් නෑ පාසලෙන් ඉවත් කළ බවක් හෝ එවැනි තත්වයක් ගැන ආරංචි කිසිවක් නැහැ. ඒ දරුවන් දෙදෙනා  ගොඩනැගිල්ල තුළ ඇවිදින්නේ සහ ඉන්නේ බොහොම සැහැල්ලුවෙන් බව තමයි නිරීක්ෂණය වෙන්නේ. ඔවුන් සතුව යම් කිසි ආකාරයකට ලොකු ප්‍රශ්නයක් තියෙන බව හෝ වෙනත් කාරණයක් අපිට අපේ විමර්ශනවලදී නිරීක්ෂණය වෙලා නෑ."

ඔවුන් පෙම්වතුන්ද? යන පැනයට මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ කීය.

"පොලිසියට එවැනි තත්ත්වයක් පිළිබඳව අපට ස්ථිරවම කියන්න බැහැ. නමුත් ඔවුන් දෙදෙනා යහළුවන් විදිහට ආශ්‍රය කළ බවත් නිරීක්ෂණය වෙනවා හැරෙන්නට අපට ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණද කියන කාරණය මෙතෙක්  අනාවරණය වෙලා නැහැ. "

"පැන්නද මේක හදිසි අනතුරක් ද කියලා ස්ථිරවම තාම කියන්න බැහැ. නමුත් මේක ක්ෂණිකව සිදුවූ අනතුරක් වන්නටත් පුළුවන්. පරීක්ෂණ වලදී අපිට කිසිම ආකාරයක සියදිවි නසාගැනීමක් යන කාරණය මෙතෙක් තහවුරු වෙලා නැහැ.


සමාජමාධ්‍යයේ තිබ්බ මේ එක් දරුවෙක්  මීට පෙර අවස්ථාවලදී සියදිවි නසාගැනීමට තැත් කරපු අවස්ථා තියෙනවා කියලා ඒ පිළිබඳව නම් අපිට මෙතෙක් විමර්ශන වලදී නිරීක්ෂණය වෙලා නැහැ. මේ අවස්ථාවේ මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පවත්වන නමුත් මීට පෙර තිබුණු තත්ත්වය පිළිබඳ මෙතෙක් වාර්තා වෙලා නැහැ."

ශිෂ්‍යයාව සහ ශිෂ්‍යයා බිමට පැන්න 67 වැනි මහලේ බැල්කනියේ තිබී ඔවුන් දෙදෙනාගේ සපත්තු යුගල, මුදල් පසුම්බි, ජංගම දුරකථන සහ 'ඩන්හිල්' වර්ගයේ සිගරැට් පැකැට්ටුවක් පොලිසිය මගින් සොයාගෙන තිබෙයි.
මොවුන් තමන් සතුව තිබූ සියලු භාණ්ඩ බැල්කනියේ තබා පනින්නට හෝ වැටෙන්නට ආසන්න හේතුව තවම පැහැදිලි නැත.
ඉදිරියට හෙළිවන වෛද්‍ය වාර්තා අනුව මත් ද්‍රව්‍ය ලබාගැනීමක් ගැන හෙළිවුවහොත් මෙම අනතුර සිදුවන්නේ මනස අවුල්වීයාමේ හැසිරීමකින් යයි අනුමානයකට යා හැකිය.

සිසුවිය උස් ස්ථානවලට ගොස් ඡායාරූප ගැනීමේ රුචිකත්වයකින් පසුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා ඇති අතර ඇයගේ ජංගම දුරකථනයේ තිබී එවන් ඡායාරූප කිහිපයක්ම පොලීසිය සොයාගෙන තිබූ බවද කීය.
ඒ අනුව, එලෙස සෙල්ෆී ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී අඩි 4 ක් පමණ වූ කෙටි තාප්පයෙන් මොවුන් වැටුණිද යන්න පොලීසිය අනුමාන කරන එක් සැකයකි.




මීට අමතරව මෙම මරණ සිදුවීමට පෙර බහින්බස්වීමක් සිදුව ඇතැයි සැකයක් පවතින බවට තොරතුරක් ලැබී ඇත.
අල්ටයාර් මහල් නිවාසයේ යාළුවන් සිටින බව සිසුවිය හා සිසුවා යන දෙන්නාගේම දෙමාපියන් දැනුවත්ව සිට ඇත. නමුත් මෙදින අල්ටයාර් මහල් නිවාසයට යන බව දෙමාපියන්ට පවසා ඇත්තේ සිසුවා පමණි.
 සිසුවිය ගැන පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් එදින එහි යන බවට ඇය සිය මව්පියන් දැනුම්වත් කර නොමැති බවය.
සිය දියණිය නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ඇයගේ පියා ඇගේ මිතුරා බව දන්නා නිසා සිසුවාට දුරකථනයෙන් අමතා ඇති බව මේ වනවිට වාර්තාවේ. මෙම ඇමතුම සිදුකරන්නේ ඔවුන් බිමට වැටුනා යයි අනුමාන කරන වේලා‍වට ඉතා ආසන්න වේලාවකය.
 නමුත්, එම ඇමතුමේදී සිසුවා පවසා ඇත්තේ ඇය තමන් සමග නොමැති බවය. මෙම කාරනාව සිසුවියගේ පියා විශ්වාස කර නැත. නීතීඥ මහතෙකුද වන සිසුවියගේ පියා සිසුවාට සැරෙන් කථාකර ඇති අතර ඔහු බියවද්දා පවසා ඇත්තේ බොරුවක් කරන බව තේරෙන නිසා පොලිසියට දන්වන බවය. සිසුවා එයින් බියට පත්වූ බව පැවසේ.
එයින් පසු ඇමතුම විසන්ධිවී තිබෙන අතර මෙම බහින්බස්වීම මත ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස දෙන්නා ඉහළ සිට පැන්නාද යන්න ගැනද පොලිසියට සැකයක් මතුව තිබේ.

මේ අයගේ දුරකථන වාර්තා සම්බන්ධ විමර්ශනයක් කරමින් පවතින බව පොලිසිය පවසයි.