amila-nadeeshani-speaks

රියලිටි තරග වලින් මතුවූ ගායිකාවක වන අමිලා නදීෂානී ඇයට පසුගිය කාලයේ සිදුවූ සිත් රිදවීම් බාධක ගැන පුවත්පතකට අදහස් පළ කර තිබේ. ඒ මෙසේය.

ඉතින් අමිලා මොනවද මේ දවස්වල වැඩ කටයුතු?

හැම සති අන්තයකම සංගීත ප්‍රසංග නැත්තම් උත්සව අවස්ථා වගේ දේවල්වල ගීත ගායනා කරනවා. ඊට අමතරව සින්දු කිහිපයක් කරගෙන යනවා. තව ඉතිං ගෘහණියක් විදිහට කරන්න ගෙදර වැඩ කටයුතුත් තියෙනවා.

මීට අවුරුදු දෙකකට විතර කලින් අමිලා ගේ පුතා විවාහ වුණා. දැන් ඔහුගේ වැඩි කටයුතු කොහොමද?

විවාහ වුණා කිව්වට විවාහ ගිවිස ගත්තා විතරයි. පුතා ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. ඉතින් ඒ දුවවත් එහෙ එක්කන් යන්න ඕන නිසා විවාහ ගිවිස ගත්තා. පුතා එහෙ හිටියට අපිට නිතරම වීඩියෝ කෝල් ගන්නවා.

එතකොට දුව, දැන් එයත් ලොකු ඇති.

ඔව්. දුවට දැන් අවුරුදු දොළහයි. එයා අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. දුවට හොඳට සින්දු කියන්නත් පුළුවන්.

එතකොට අමිලාගේ සැමියා සමන්ත. ඔහුගේ සැප දුක් කොහොමද?

ඔහු බොහොම හොඳින් ඉන්නවා. ඔහු මේ දවස් වල ඔහුගේ ගමේ ඉඩමක වගාවක් කරගෙන යනවා. ඒ නිසා ඒකත් එක්ක ටිකක් කාර්යබහුලයි.

ඔබ ඔහුගෙන් වෙන් වෙලා කියලා පහුගිය කාලේ කතාවක් ගියා. ඒව කටකතාද?

ප්‍රසිද්ධ කෙනෙක් වෙනවනම් ඔය වගේ කටකතාවලට මුහුණ දෙන්න බලාගෙනම වැඩ පටන් ගන්න ඕනේ. මගේ දුව පුතාට වඩා ගොඩක් බාලයි. ඉතින් මේ දුව වෙන කෙනෙක් ගෙ කියලත් කතාවක් ගියා. දරුවෝ සම්බන්ධ කරගෙන ඔය වගේ කතන්දර හදන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. කොහොම වුණත් මමයි සමන්තයි දෙන්නම ඔය වගේ කතා ගැන තේරුම් අරගෙන ඉන්නේ. මම සුපර් ස්ටාර් තරගයට යනකොටත් මගේ පිටිපසෙන්ම හිටියේ ඔහුයි. එදා වගේම අදටත් මගේ ප්‍රසංග පිටිපස්සෙන් එන්නෙත් ඔහුම තමයි. කවුරු කොහොම කිව්වත් අපේ ආදරේ අඩුවක් වෙන්නේ
නැහැ.



ඒතකොට ඔබ ඉස්සර වගේ දැන් වැඩිය පේන්නෙ නැත්තේ ඇයි?

පේන්න නැතුව නෙමෙයි. සංගීත ප්‍රසංගවලට මට ගොඩක් ආරාධනා ලැබෙනවා. හැබැයි රූපවාහිනි වැඩසටහන්වලට යන්න මට  මට වෙලාවක් නැහැ.

වෙලාවක් නැද්ද ඔබට වැඩිපුර ආරාධනා එන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක්   ඇහුවොත්‍

(සිනාසෙමින්) එහෙම එකක් නැහැ. මට නිතරම රූපවාහිනි වැඩසටහන්වලට ආරාධනා එනවා. සංගීත
වැඩසටහන්වලට යන්න වෙන නිසා සති අන්ත වැඩසටහන් භාරගන්න බැහැ. සංගීත ප්‍රසංග ලැබෙනවා අඩු අයට නිතරම ඒවට යන්න පුළුවන්. හැබැයි මම සතියේ දිනවල වැඩසටහන්වලට සහභාගි වෙනවා.

ඔබ බොහොම සුන්දර කාන්තාවක්. ඒ නිසාම ඉස්සර චිත්‍රපට රංගනයටත් ආරාධනා ලැබුණා. හැබැයි දැන් ඔබ රඟපානවා පේන්න නැහැනේ.

ඇත්තම කිව්වොත් රංගනයට වඩා මම තැන දෙන්නේ ගායනයට, ඒ නිසා ගායනයට වැඩිපුර කාලය වැය කරනවා. ඒ වගේම මට මේ ළඟදී දුෂ්ට චරිතයකට ආරාධනාවක් ආවා. ඒ චරිතයට නම් මං වැඩිය කැමැත්තක් දැක්කුවේ නැහැ. හැබැයි දෙරණ නාළිකාවේ විකාශය වෙත "ප්‍රාර්ථනා ටෙලිනාට්‍යයේ මම රගපානවා.

ඔබ දේශපාලන වේදිකාවලන් සින්දු කිව්වා  නේද?

ඔව්. පක්ෂ කිහිපයකම දේශපාලන වේදිකාවල සින්දු කියලා තියෙනවා.

එහෙම සින්දු කිව්ව එකෙන් අමිලාගේ ප්‍රතිරූපයට හානියක් වුණා කියලා හිතනවද?

කීයටවත් නැහැ. මම දේශපාලන වේදිකාවට නැග්ගේ ඒ ගොල්ලෝ වෙනුවෙන් කතා කරන්න නෙමෙයි. සින්දු කියන්න විතරයි. ඒක මගේ වෘත්තීය. වෘත්තීය කළා කියල ප්‍රතිරූපයට හානි වෙන්න විදිහක් නැහැනේ.



අමිලාට වැඩිපුර ඔය වගේ ආරාධනා එන්න හේතුවක් තියෙනවද?

එකක් මිනිස්සු මගේ හඬට කැමතියි. තව එකක් මගේ අය කිරිම් සංවිධායකයන්ට දරන්න පුළුවන්. දැන් අලුතින් ඉන්න ගොඩක් අය වේදිකාවට නගින්න විශාල ගණන් අය කරනවා. ඒකට අපිට මොකුත් කියන්න බැහැ. ඒක ඒ අයගේ පෞද්ගලික තීරණයක්. හැබැයි මම සාධාරණ ගාණක් අය කරන නිසාදෝ මට ප්‍රසංග එනවා වැඩියි.

ඔබේම ගීතවලට වඩා ඔබ ගායනා කරන ලතා වල්පොල මහත්මියගේ සහ ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ ගීතවලට නේද මිනිස්සු වැඩිපුර කැමති.

මෙහෙමයි. මිනිස්සු මගේ හඬින් ඔවුන් දෙදෙනාව දකිනවා. වේදිකාව උඩට නැග්ගහම ඔවුන්ගේ ගීත කියන්නේ නැතුව මට බහින්න දෙන්නෙත් නැහැ. මිනිස්සු අනිවාර්යෙන්ම ඔවුන්ගේ ගීත ඉල්ලනවා. ඒ නිසා මමත් අනිවාර්යෙන්ම ඒ ගීත කියනවා. ඔය අතරෙදි මම වැඩිපුර කියන්නේ මගේ ගීත. මගේ " හිතුවක්කාර මනාලි" ගීතයට එහෙම මිනිස්සු හරි කැමතියි. ඔය දෙකම කළමනාකරණය කරගෙන තමයි මම ගායනා කරන්නේ.

ලතා වල්පොල මහත්මියවත් ඇන්ජලීන් මහත්මියවත් වේදිකාවේ. ඔවුන්ගේ ගීත ගයනවා කියල ඔබට කවදාවත් මුකුත් කියලා නැද්ද?

අනේ නැහැ. ඒ දෙපළ බොහොම නිහතමානී ආදරණීය දෙන්නෙක්. මට කවදාවත් එහෙම කිසිම ගැටලුවක් ඇතිවෙලා නැහැ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි