asanka-abeygunasekara-arrested

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පනවා තිබූ නඩු කටයුත්තකට අදාළව කොළඹ මහේස්ත්‍රාත්
අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් යටතේ ශ්‍රී ලංකාවට 07/21 දින අලුයම පැමිණෙමින්
සිටි අසංක අබේගුණසේකර නැමැති පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ආගමන
විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .





ගෝනවල , කොහොල් විල පාරේ පදිංචි  අසංක අබේගුණසේකර මහතා  හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ
අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන අතර හිටපු අමාත්‍ය ඔසී අබේගුණසේකර මහතාගේ පුත්‍රයෙකු බව ද
සදහන් වේ .

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා ඇති 81491/22 දරන
නඩු කටයුත්තට අදාළව මෙම ගුවන් ගමන් තහනම පනවා තිබූ බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ
ප්‍රකාශකවරයෙකු පැවසීය .

 07/21 දින අලුයම 03.19 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන්
මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් මුළින්ම අත්
අඩංගුවට ගෙන තිබේ .



පසුව 07/21 දින අලුයම 05.20 ට පමණ අසංක අබේගුණසේකර මහතා කටුනායක ගුවන් තොටුපොළ පොලිස්
නිලධාරීන් ගුවන් තොටුපොළ ආගමන විගමන පරිශ්‍රය වෙත කැදවා භාර දීමට පියවර ගෙන තිබුණි .

 අසංක අබේගුණසේකර මහතා වෙනුවෙන් නීතීඥයින් පිරිසක් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය
වෙත පැමිණ සිටින අතර , අබේගුණසේකර මහතා  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර දීමට
පියවර ගන්නා බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ
මැල්කම් පේට් මහතා මේ පිළිබඳ විමසීමක දී පැවසීය .

(ටී.කේ.ජී කපිල)