bangladesh-sri-lanka-riots

විදේශසේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි දත්ත අනුව වර්තමානයේ බංග්ලාදේශයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 2,835ක් ජීවත් වන බවත්, බංග්ලාදේශයේ ඇතිවී තිබෙන කලහකාරී තත්ත්වයත් සමග එම පිරිසෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවත් කම්කරු හා විදේශ රුකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය ඊයේ(23දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.


එමෙන්ම බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ රැකියා අමාත්‍යාංශය එක්ව කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ - අපි දැක්කා පසුගිය කාලයේ කෝටා ප්‍රශ්නයක් මුල් කරගෙන ලොකු ගැටුමක් ඇති වෙලා තියනවා. අපේ රටේ අධ්‍යාපනය ලබන තරුණ පිරිස වගේම රුකියාවලට ගිහින් ඉන්න අයට කිසියම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවාද?


කම්කරු හා විදේශ රුකියා අමාත්‍ය මනූෂ නානායක්කාර - මේ වෙලාවේ බංග්ලාදේශයේ අපේ ශ්‍රමිකයන් අතරින් පුහුණු ශ්‍රමිකයක් 2,690ක් ඉන්නවා.

කාන්තාවන් 107ක්, පුරුෂයන් 2,583ක් වශයෙන්. ඒ වගේම අඩු පුහුණුව ලබපු පිරිස වශයෙන් කාන්තාවන් 06ක්, පිරිමි පුද්ගලයන් 139ක් වශයෙන් 145ක් ඉන්නවා.සමස්තයක් ලෙස 2,835 දෙනෙක් මේ වන විට බංග්ලාදේශයේ ජීවත් වෙනවා. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය 2019 සිට 2024 දක්වා ගත්තම 2,835ක් ජීවත් වෙනවා. සිසුන්ගේ සංඛ්‍යාව ගන්න බැරි වුණා.


නමුත් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා දැනගන්න අපේ තානාපති කාර්යාලය හරහා අපේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බංග්ලාදේශයේදි අනතුරක් සිදුවෙලා නෑ කියන එක. ඔවුන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය වුණොත්, ඔවුන්ගේ ආරක්ෂිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විදේශකටයුතු අමාත්‍යාංශය ඒ සඳහා මැදිහත්වීම් සිදු කරනවා. ඒ වගේම විදේශ රැකියා අමාත්‍යාංශය ලෙසත් ඒ සඳහා මැදිහත්වීම සිදු කරනවා. බංග්ලාදේශයේ ඇතිවුණු තත්ත්වය පිළිබඳ අපේ කණගාටුව පළ කරනවා.

(දිනේෂ් සමරකෝන්)