blind-people-voting

එළැඹෙන ජනාධිපතිවරණයේ දී දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් පළමු වරට නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වග කිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී පැවැසීය.මේ අතර ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබාදීම සඳහා සාධාරණ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට එම කාරක සභාවේ සභාපති මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා නිර්දේශ කළේය.


වර්ජන අවස්ථාවල දී විදෙස් සංචාරකයන් සඳහා විශේෂ දුම්රියක් යෙදවීම සඳහා කටයුතු කරන ලෙසට ද කමිටුව ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිෂන් සභාව යන ආයතනවලට දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව විමර්ශනය සඳහා එම ආයතනවල ඉහළ නිලධාරීහු එම කාරක සභාවට කැඳවනු ලැබූහ. මේ තොරතුරු හෙළි වූයේ එම රැස්වීමේදීය.


මැතිවරණයේ දී අනන්‍යතාව පැහැදිලිව ත්හවුරු කරගන්නා බැවින් තවදුරටත් ඇඟිලි වර්ණ ගැන්වීම අනවශ්‍ය බවට මීට පෙර කාරක සභාව ලබා දී තිබූ නිර්දේශය පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය.ඇඟිලි වර්ණ ගැන්වීම ඉවත් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ ද එය මෙම අවස්ථාවේ ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.ඇඟිලි වර්ණ ගැන්වීම ඉවත් කිරීමෙන් විශාල මුදලක්, කාලයක් සහ ශ්‍රමයක් ඉතිරි වන බව මෙහි දී අනාවරනය විය.

මැතිවරණ පනත සංශෝධනයට අදාළ සියලු යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන්නේය.


එසේම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ඉදිරි මැතිවරණවල දී වඩාත් සාධනීය පියවර රැසක් ගන්නා බවත් මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රථම වරට දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂිත ඡන්ද පත්‍රිකාවක් (Tactile Ballot Paper) හඳුන්වා දෙන බවත් ඔහු පැවැසීය.එසේම ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මැතිවරණය ආශ්‍රිත වචන 320 ක නව සංඥා භාෂා වචන මාලාවක් හඳුන්වා දුන් බවත් ආබාධිත ප්‍රජාවගේ ප්‍රවේශ පහසුකම් ඇතුළු කටයුතු සඳහා උපරිම පහසුකම් සැලසීම සඳහා ද සැලසුම් කර ඇති බවත් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේය.

අංජුල මහික වීරරත්න