After-the-failed-debate-with-Trump-Biden-is-under-pressure-to-withdraw-from-the-presidential-candidacy

 ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළග ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රැටික් පක්ෂයෙන් තරගවැදීමට නියමිතව සිටින වත්මන් ජනපති ජෝ බයිඩන්ගේ ජනපතිවරණ සටන අවිනිශ්චිත වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.පසුගියදා බයිඩන් සහ ඔහුගේ ප්‍රතිවාදියා වන රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැති පළමු විවාදයේදී ජනපති බයිඩන් පෙන්නුම් කළ දුර්වල, අසාර්ථකත්වයත් සමගින්ම මෙම තත්ත්වය  උදා වී තිබේ. සීඑන්එත් රූපවාහිනි නාලිකාව මගින් මෙම විවාදය සංවිධානය කර තිබුණි.



මෙහිදී ජනාධිපතිවරයා හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු වෙත අසාර්ථක ලෙස තර්ක ඉදිරිපත් කළ බවත්, වැඩි වශයෙන්ම ට්‍රම්ප්ට අපහාස කරමින් කරුණු දැක්වීමට මුලිකත්වය දුන් බවටත් වාර්තා පවසයි. බයිඩන් මේ වනවිට 81 හැවිරිදි වියේ පසුවන අතර, ට්‍රම්ප් 78 හැවිරිදි වියේ පසුවෙයි.ඒ අනුව ජනපති බයිඩන් වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු ජනපතිවරණ සටන සඳහා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් තුළ අවධානයක් යොමුව තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියි.

කෙසේ වෙතත් ජනපතිවරණ සටන සදහා වෙනත් අපේක්ෂකයෙකු නම් කිරීම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇතැයිද සඳහන් වෙයි. ඒ අනුව මේ දක්වා ඩිමොක්‍රැටික් පක්ෂ සාමාජිකයන් නම් කළ අපේක්ෂකයා වන බයිඩන් මෙවර ජනපතිවරණයේ අපේක්ෂකයා වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. එහිදී මූලිකවම දැනට ඩිමොක්‍රැටික් පක්ෂය තුළ අපේක්ෂකයා තේරීම සඳහා පවතින ඡන්ද කොට්ඨාස ක්‍රමය ඊට හේතුවනු ඇතැයි ඔවුන් අවධාරණය කරයි.



මෙහිදී උදාහරණ ලෙස 1968 වසරේදී ඩිමොක්‍රැටික් පක්ෂ සාමාජිකයන් සිය ජනපති අපේක්ෂකයා ලෙස එවකට ජනපතිවරයා වූ ලින්ඩන් ජොන්සන් වෙනුවට උප ජනාධිපති හියුබර්ට් හම්ප්‍රිගේ නම යෝජනා කිරීම දැක්විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

"එම අවස්ථාවේදී ඩිමොක්‍රැටික් අපේක්ෂකයා වූ ජනපති ජොන්සන් කෙරෙහි පැවැති ජනතා කැමැත්ත අඩුවීම සහ වියෙට්නාම යුද්ධයට එරෙහිව පැවැති විරෝධතා නිසා ඔහු ජනපති සටනින් ඉවත් කර ඒ වෙනුවට උප ජනාධිපති නම් කිරීමට ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් කටයුතු කළා. ඒත් ඒ 60 දශකයේ. අද එය වෙනස්.”

කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයෙන් ඉවත්විමට තීරණය කළහොත් තත්ත්වය වෙනස් වන බව මෙම විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.යම් ලෙසකින් අපේක්ෂකයෙකු තරගයෙනත් ඉවත්විමට තීරණය කළහොත් එම පක්ෂ සම්මේලනයේදී මීළග තරගකරුවා තෝරා පත් කරගැනීමත් සිදුකළ හැකි බව සදහන් වෙයි. ඩිමොක්‍රැටික් පක්ෂ මීළග සම්මේලනය ලබන අගෝස්තුවේදී චිකාගෝහිදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව ජනපතිවරයා තරගයෙන් ඉවත් වුවහොත් ඒ වෙනුවට ඉදිරිපත් වන තැනැත්තා සම්බන්ධයෙන් මේ වනවිට ඩිමොක්‍රැටික් පක්ෂය තුළ විශාල අවධායනක් යොමුව තිබේ.

එහිදී උප ජනාධිපතිනී කමලා හැරිස් සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් මතුව තිඛෙන බවත් විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් එම නම් කිරීමක් සම්බන්ධයෙන් පක්ෂය තුළ විවේචන මතුව තිබේ.මේ අතර බයිඩන් සහ ට්‍රම්ප් අතර දෙවැනි විවාදය ලබන සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. ලබන නොවැමබර් 05 වැනිදා එක්සත් ජනපද ජනාධිපතිවරණය පැවැත්වෙයි.