Fishermen-who-drank-methyl-alcohol-unknowingly-died

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ඩෙවෝන් පුතා 5 ධීවර යාත්‍රාවේ ධීවරයන් පස්දෙනෙක් මළහ.
තංගල්ල, වැලිගම ආශ්‍රිත පදිංචිකරුවන්වූ මොවුන් තංගල්ල ධීවර වරායෙන් ඉකුත් 4 වැනිදා පිටත්ව ගිය
අතර දකුණු මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 317 ක් පමණ දුරින් මසුන් සොයා යාත්‍රා කරමින් සිටියදී මුහුදේ පාවෙමින් තිබූ ලීටර් 5 ක පමණ වූ බෝතලයක් දැක එක් ධීවරයකු මුහුදට පැන පිහිනා ගොස් එය ධීවර යාත්‍රාවට රැගෙන විත් තිබුණි.
බෝතලයේ තිබෙන්නේ විදෙස් මත්පැන් වර්ගයක් යැයි සිතූ ධීවරයන් එම දියරය පානය කර ගී ගයමින් යාත්‍රාව තුළ විනෝද වී රාත්‍රි නින්දට ගොස් පසුදින උදෑසන බලන විට ස්කිපර්වරයා ලෙස කටයුතු කළ ධීවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව දැනගත් අතර දියරය පානය කළ අනෙක් ධීවරයන්ට හිසරදය කලාන්තය සෑදී ඔවුන්ගේ ඇස් නොපෙනී අසාධ්‍ය තත්වයට පත්ව සිටි බව කියැවේ දියර පානය කළ 6 දෙනාගෙන් 5 දෙනෙකුම ජීවිතක්ෂයට පත් විය.
යාත්‍රාවේදී ඔවුන් එම බෝතලයේ දියර පානය කරන්නට පෙර සෙල්ෆියක්ද ගසා තිබූ අතර එහි එකී බෝතලයද තිබේ.



මෙම ලේබලයක් නැති බෝතල ආකාර බෝතල වලින් රසායනික වර්ග කිහිපයක්ම අලෙවි කෙරේ.නයිට්‍රික් ඇසිඩ්, මෙතිල් ඇල්කොහොල්, අයිසොප්‍රොපිල් ඇල්කොහොල්, මෙතිලින් ක්ලෝරයිඩ් හා ෆෝමැල්ඩිහයිඩ් ඒවා අතරින් කිහිපයකි.
ධීවරයන්ට එය හමුවෙද්දී ලේබලයක් නොතිබුණ නමුත් බෝතලයෙන් ඇල්කොහොල් සුවඳ දැනුණ බවත් එය මත්පැන් යයි සිතා පානය කළ බවත් පවසා තිබුණි.

අනුමාන කරන ආකාරයට නෞකා පිරිසිඳු කිරීම සඳහා යොදාගන්නා 'මෙතිල් ඇල්කොහොල් ' මෙම බෝතලයේ තිබෙන්නට ඇත. එතිල් ඇල්කොහොල් බීවාට විස නැති නමුත් මෙතිල් ඇල්කොහොල් බීවාම විසවන බව ඔවුන් තේරුම් නොගන්නට ඇතැයි මේ අනුව අනුමාන කෙරේ.

මෙතනෝල්  Antifreeze ලෙසත්, වීදුරු පිරිසිදු කිරීමටත්, තීන්ත නිෂ්පාදනය හා තනුක කිරීමට තිනර් ලෙසත් බහුලව භාවිතා වන බව පැවසේ.
නෞකාවල පිරිසිඳු කිරීමේ කටයුතු සඳහා මේවා යොදාගන්නා බවද පැවසේ.


මෙතනෝල් ශරීරය තුලට ඇතුළු වූ පසු එන්සයිම ක්‍රියාවලියේදී අතරමැදි ඵලයක් ලෙස "ෆෝමැල්ඩිහයිඩ්" එනම් එම්බාම් කිරීමට ගන්නා "ෆෝමලීන්" නිෂ්පාදනය වෙයි.
ශරීරය තුල ෆෝමලින් සෑදී ප්‍රෝටීන ,ඇමයිනෝ ඇසිඩ් අක්‍රීය වී මරණයට පත්වීම සිදුවන බව පැහැදිලි කර තිබේ.
මෙතිල් ඇල්කොහොල් (CH3OH) යනු දැඩි ගන්ධයක් සහිත අවර්ණ ද්‍රව්‍යයක් බවත් එයින් ඇස්, සම, පෙනහළු සහ ආහාර ජීර්ණ පද්ධතිය හරහා අවශෝෂණය කළ හැකි විෂක් බවත් පැහැදිලි කර තිබේ.  අධික ලෙස නිරාවරණය වීම මරණයට හේතු වන නමුත් හානියේ මට්ටම මාත්‍රාව, කාලසීමාව අනුව එය වෙනස් විය හැකි බවද පැවසේ.