BMW-registered-in-Piyumi-Hansamalis-name-found-in-businessmans-drug-operation

 නිරූපිකා පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කර තිබූ සුඛෝපභෝගී BMW මෝටර් රථයක් නාවල ප්‍රදේශයේ නිවසක ගරාජයක තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) අත්අඩංගුවට ගෙන ඇත.

මින් ඉහත මත් ජාවාරමක් නිසා අත්අඩංගුවට ගෙන තිබූ ව්‍යාපාරිකයෙකුට අයත් දෙමහල් නිවසක තිබී මෝටර් රථය සොයා ගෙන ඇත. ගුවන් තැපෑලෙන් රුපියල් මිලියන 60 කට වැඩි වටිනාකමකින් යුත් කුෂ් සහ කොකේන් ආනයනය කිරීමේ වරදකට හසුවී මීට මාස කිහිපයකට පෙර මෙම ව්‍යාපාරිකයා අත්අඩංගුවට පත්ව තිබී ඇත.


මෙම වසර මුලදී කුරියර් මගින් කුෂ් කිලෝ 5ක් සහ කොකේන් ග්‍රෑම් 500ක් ආනයනය කර තිබූ අතර එකී පාර්සලය
තවත් පුද්ගලයෙකු ලවා ලබා ගැනීමට උත්සාහ කිරීමත් සමඟ පොලිස් පරීක්ෂණ ආරම්භ විය. කොළඹ 10 ප්‍රදේශයේ ප්‍රධාන වාහන අමතර කොටස් ආනයනය කරන්නෙකු වන මෙම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන් අනතුරුවයි.

සැකකරු මේ වසරේ මුල් භාගයේ නාවල ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති බව අනාවරණය විය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මත්ද්‍රව්‍ය තොගය සමග ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු නාවල පාසල් මාවත අසල වෙනත් නිවසක පදිංචියට ගියේය.

සැකකරු සමග පියුමි හංසමාලිට ඇති සම්බන්ධය ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පොලිසියට සැකකරු දන්වා ඇත්තේ තමන් වාහනය ලබාගැනීමට පියුමිට මිලියන 10 ක් ගෙවා ඇති බවයි.

මිලියන 50 ක පමණ හිඟ ශේෂය තවමත් ගෙවා නැති බවද ඔහු පවසා ඇත.

පියුමි හංසමාලි ගැන සැකකටයුතු ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් විමර්ශනය කරමින් සිටින වකවානුවේම මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග සම්බන්ධය හෙළිව තිබේ.
පියුමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට පැමිණ මාධ්‍යයට පවසා තිබුනේ තම වත්කම් සෙවීම ඉරිසියාවට සිදුකරන දේවල් බවය. කෙසේ වෙතත් පොලිසිය භාර ඇමති ‍ටිරාන් අලස් ඊට පසුදිනම මාධ්‍ය වෙත පවසා තිබුනේ මත් ජාවාරම් කරුවෙකු සමග පියුමිගේ සම්බන්ධයක් ඇති බව දැනගන්නට තිබෙන බවය.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.