A-train-strike-from-today-9-night

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබේ.
මෙම වැඩ වර්ජනයේ ලක්ෂණ අද සවස සිටම දිස්වූ අතර අද පස්වරුවේ සිය ගමනාගමන පහසුකම් ලබාගැනීම සඳහා පැමිණි මගීන් දැඩි අපහසුතාවකට පත්වූ බවද වාර්තා විය.

නියමිත පරිදි උසස් වීම් ලබානොදීම ඇතුළු කරුණු 14 ක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපති සංගමය අද පස්වරුවේ සිටම සේවා අතැර ගොස් තිබුණි.
දුම්රිය ස්ථානාධිපති සංගමය පැවසුවේ, රාත්‍රී 12න් පසු ධාවනය වීමට නියමිත දුම්රිය සියල්ල අවලංගු කළ බවය.
ධාවනයට සූදානම් කොට තිබූ තැපැල් දුම්රිය පවා අවලංගු කිරීමට පියවර ගත් බවය.



කෙසේ වෙතත් හෙට දින (10) ධාවනයවීමට නියමිත කාර්යාල දුම්රිය කිහිපයක් අවශ්‍ය නිලධාරින් යොදවා ධාවනයේ යෙදවීමට කටයුතු සැලසුම් කරමින් පවති බවද පැවසීය.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් හෙට (10) දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය පහසුකම් ප්‍රවාහන අමාත්‍යංශය විසින් සලසා ඇති බවද දැනුම්දෙයි.



 දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබිය දී  හෙට (10)දා සිට සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා පවසයි.

රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබිය දී ස්ථානාධිපති සංගමය සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමය විසින් හදිසි වෘත්තීය ක්‍රියා  මාර්ගයකට එළඹෙන බව දැනුම් දී ඇතැයි ද එසේ වුවහොත් ඉහත පියවර ගැනීමට සිදුවන බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී තිබේ.