Advice-from-the-Attorney-General-to-reduce-the-prices-of-goods-that-do-not-decrease-when-oil-and-electricity-bills-are-reduced

අසාධාරණ ලෙස භාණ්ඩ මිල ඉහළ යෑම පාලනයට නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ඉන්ද්‍රජිත් උඩුවර මහතා පැවසීය.

පාරිභෝගික අධිකාරිය ලෙස වෙළෙඳපොළේ භාණ්ඩ මිල පාලනය සඳහා තීන්දු තීරණ ගැනීමට අදාළව ක්‍රියාකාරී විය හැකි ආකාර පිළිබඳ මෙලෙස නීතිපති උපදෙස් ලබා ගැනීමට මේ සතිය තුළ නීතිපතිවරයාට ලිපියක් යොමු කරන බව සභාපතිවරයා පැවසීය.



විදුලිය, ගෑස්, ඉන්ධන මිල අඩු වුවද පාරිභෝගිකයාට සහන නොලැබෙන බවට බොහෝ පිරිසක් චෝදනා එල්ල කරන බව පැවැසූ සභාපතිවරයා ඒ අනුව, වෙළෙඳ භාණ්ඩ සඳහා මිල නිර්ණයක් ප්‍රසිද්ධ කරන බව ද කීය.

ආහාර සහ අනෙකුත් භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකරන හෝටල්, කඩවලට විරුද්ධව අනිවාර්යයෙන් නඩු පැවරීමට වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව හෙතෙම පැවසීය.



මේ අතර, බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් පැවැතිය ද රජය බිත්තර ආනයනය නතර කිරීම මත මිල පහළ දැමීමකින් තොරව වෙළෙඳ ඒකාධිකාරිත්වයක් ගොඩ නැඟී ඇති බව ඔහු කීවේ ය.

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය සහන බොහොමයක් ලබා දී තිබුණ ද වෙළෙඳපොළේ විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි වන බව ත් පාලන මිලක් ඇති කළ විගස කෘත්‍රිමව හිඟයක් මෙම වෙළෙඳ ඒකාධිකාරීත්වය ගොඩනඟන බව ත් උඩුවර මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

රවිශාන් ප්‍රනාන්දු