Revenge-for-an-old-crush-involves-breaking-down-birthday-party-walls-and-entering-a-cab-serious-for-one

තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුමාරගම ප්‍රදේශයේ නිවසක පැවති උපන් දින සාදයකදී ඇති වූ ගැටුමකින් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා පෙරේදා (14 දා) දින රෝහල් ගත කර ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ උපන් දින සාදය පැවති නිවසේ තිදෙනෙකු හා එම ස්ථානයට කැබ් රථයකින් පැමිණ,

එහි සිටි පුද්ගලයන් යටකර ඝාතනය කිරීමට උත්සාහ කළ පුද්ගලයායි.

පසුගිය 13 වන දින රාත්‍රි කුමාරගම පිහිටි නිවසක පැවති උපන් දින සාදයක් වෙත එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු ඔහුගේ කැබ් රථයෙන් උපන් දින සාදය පැවති නිවසේ ගේට්ටුව කඩාගෙන මිදුලේ සිටි පිරිසද යට කරගෙන නිවසේ බිත්තියක්ද කඩාගෙන නිවස තුළට ධාවනය කර තිබේ.

කැබ් රථය ධාවනය කළ පුද්ගලයා හා උපන් දින සාදය පැවති නිවැසියන් අතර කලක සිට පැවති ආරවුලකට පළිගැනීමක් ලෙස කැබ් රථයේ හිමිකරු මෙම ක්‍රියාව සිදුකර තිබේ.

කුමාරගම ප්‍රදේශයේම පදිංචි මෙම කැබ් රථ හිමිකරු උපන් දින සාදය පැවති නිවසේ ගේට්ටුව හා බිත්තියක්ද කඩාගෙන කැබ් රථය නිවස තුළට ධාවනය කර තිදෙනෙකු යටකර ඝාතනය කිරීමට උත්සාහ දරා තිබේ. එම අවස්ථාවේදී නිවැසියන් එක්ව කැබ් රථයේ හිමිකරුට පහරදී තිබේ. සිද්ධියෙන් කැබ් රථයට යට වු පුද්ගලයන් තිදෙනෙකු තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

නිවැසියන්ගේ පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ කැබ් රථයේ පැමිණි පුද්ගලයාද ඇඹිලිපිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබේ. මෙම ගැටුම ඇති කරගැනීම සඳහා කැබ් රථයෙන් පැමිණි පුද්ගලයාට මිනීමැරුමක් හා මත්ද්‍රව්‍ය ජාවරම් කිහිපයක් සම්බන්ධයෙන් නඩු කිහිපයක්ද පවතින බව මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මත්තල – දිලීප් එන්. ජයසේකර, තණමල්විල – සදුන් පුෂ්පකුමාර