50-water-filters-were-picked-up-under-the-guise-of-orders

වතුර ෆිල්ටර් ආනයනය කර ඛෙදාහැරීමේ කුරුණෑගල ප්‍රදේශයේ ආයතනයට විද්‍යුත් තැපැල් මගින් වතුර පිල්ටර් 50 ක ඇණවුමක් ලබා දී එම තොගය කහතුඩුව අධිවේගී පිවිසුම අසලට රැගෙන ඒමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා වතුර ෆිල්ටර් තොගයක් වංචා සහගත ලෙස ලබාගැනීමට කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව කහතුඩුව පොලිසිය කියයි.එම ආයතනය මගින් ප්‍රාදේශීය කළමනාකාරවරයාගේ ජංගම දුරකථන අංකය ද සඳහන් කර පළ කර තිබූ වෙළෙඳ දැන්වීමක් හරහා ගාල්ල ප්‍රදේශයේ ශාඛාවකට යැයි පවසා වතුර ෆිල්ටර් 50 ක ඇණවුමක් විද්‍යුත් තැපැල් මගින් පුද්ගලයකු ලබාදී ඇති බව පොලිසිය සඳහන් කරයි.



ඇණවුම ලබාදුන් පුද්ගලයාට පැමිණිලිකාර ප්‍රාදේශීය කළමනාකරු විසින් ඒ සඳහා මිල ගණන් ඊමේල් හා වම්සැප් හරහා යොමු කර තිබූ බව පොලිසිය කියයි.එම පුද්ගලයා එකී මිල ගණන්වලට එකඟවීමෙන් අනතුරුව පැමිණිලිකාර ප්‍රාදේශීය කළමනාකරු වතුර ෆිල්ටර් 50 රැගෙන ලොරි රථයකින් අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල බලා යාම සඳහා කොළඹ සිට අධිවේගී මාර්ගය ඔස්සේ යාමේදී ඇණවුම ලබා දුන් වංචාකරු දුරකථන ඇමතුමක් ප්‍රාදේශීය කළමනාකරු වෙත ලබාදී ඔහුගේ පුත්තලම ශාඛාවට රැගෙන යාම සඳහා වතුර ෆිල්ටර් 12ක් අවශ්‍ය බවත් එය කහතුඩුව අධිවේගී පිවිසුම අසලට පැමිණ තමා යොමු කරන ලොරි රථයට ලබා දෙන මෙන් පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව ප්‍රාදේශීය කළමනාකාරවරයා ආයතන ලොරි රථය අධිවේගී මාර්ගයෙන් කහතුඩුව පිවිසුමෙන් පිටතට පැමිණ ඇති අතර

ඇණවුම ලබාදුන් පුද්ගලයා පැවසූ පරිදි වතුර ෆිල්ටර් 12 ක් ඔහු නම් කරන ලද ලොරි රථයට කහතුඩුව අධිවේගි පිවිසුමේදී භාරදී ඉතිරි වතුර ෆිල්ටර් ඇණවුම ලබා දුන් පුද්ගලයා දුරකතනයෙන් පැවසූ ගාල්ල ප්‍රදේශයේ ශාඛාවට භාරදීම සඳහා පිටත් වී ඇතැයි පොලිසිය කියයි.ගාල්ල ප්‍රදේශයේ එම ශාඛාව ආසන්නයට යන විට ඇණවුම ලබා දුන් පුද්ගලයා පැමිණිලිකාර ප්‍රාදේශීය කළමනාකාරවරයාට දුරකථන ඇමතුමක් ලබා දී ශාඛාව අසලට නොගොස් ඔහු පැමිණෙන තෙක් රැඳී සිටින ලෙස පවසා ඇතැයි පොලිසිය කියයි.

පැය කීපයක් ගත වුවද පැවසූ පරිදි එම පුද්ගලයා නොපැමිණි හෙයින් පැමිණිලිකරු ඇමතුම ලබාදුන් පුද්ගලයා පැවසූ ශාඛාව අසලට ගොස් පරීක්ෂා කිරීම දී එය වසා දමා තිබෙන අයුරු දැක ඇති අතර ඇණවුම් ලබා දුන් පුද්ගලයාගේ දුරකථනයට නැවතත් දුරකථන ඇමතුම් ගත්තද එය ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඉතිරි භාණ්ඩ රැගෙන කුරුණෑගල ඔවුන්ගේ ආයතනයට ගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ