The-young-woman-who-bought-rental-houses-and-buses-from-those-who-killed-Vasantha-and-escaped-is-caught

ක්ලබ් වසන්ත  වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාතාලයට සම්බන්ධ විසි එක් හැවිරිදි තරුණියක බස්නාහිර දකුණු අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (20) මාතර මිරිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.



පොලිසිය පවසන්නේ ප්‍රංශයේ සැඟව සිටින කංජිපානි ඉම්රාන්  ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට ඩුබායිහි සැඟව සිටින පාතාල නායක ලොකු පැටීට පැවරීමෙන් පසු එම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වාහන 3 ක් ඔස්සේ සැකකරුවන් පළායාමට සැලසුම් සකස් කළ බවයි. එහි කාර් රථයෙන් වෑන් රථයකටත් වෑන් රථයකින් බස් රථයකටත් සැකකරුවන් පළාගොස් ඇති අතර
රුපියල් ලක්ෂ හතළිහක මුදලකට බස් රථයක් ද මිලදී ගෙන ඇත්තේ මේ කියන තරුණිය හවුල් කරගෙන බව පැවසේ. එසේම ඝාතකයින්ට නැවතීමට අවශ්‍ය කාමර ලබාගෙන ඇත්තේද ඇයයි.



ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දුන් චෝදනාව යටතේ මෙම තරුණිය අත්අඩංගුවට ගෙන ඇති අතර ලොකු පැටි මෙම බස් රථය මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ හතළිහක මුදලක් එවා ඇති බව ඇය කියා තිබේ.

ක්ලබ් වසන්ත නමැත්තාට වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරුවන් දෙදෙනා මෝටර් රථයකින් පලාගොස් පසුව ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකට ගොඩ වී පලාගොස් වෑන් රථය අතරමග දමා පසුව මෙම බස් රථයේ නැගි පලාගොස් තිබූ අතර එය නතරවූ තැනක් නොදනී.

 සැකකාරිය, හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන්  මාතර බන්ධනාගාරයේ සිටින අසංක ප්‍රියශාන් (24) යන ස්වාමිපුරුෂයාගේ ඉල්ලීම මත, ඔහුගේ මිතුරකු සමග එකතු වී අතුරුගිරිය ගල්පොත්ත පාරේ නිවෙසක් කුලී පදනම මත අපරාධයට දින දෙකකට පෙර ලබා ගෙන අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් සැපැයීමත්, විදේශගතව සිටින ලොකු පැටී යන අයගෙන් ලැබුණු ලක්ෂ 40ක මුදල යොදවා ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් මිලදීගෙන, සැකකරුවන් රැගෙන ඒමට හා පලා යාමට අවශ්‍ය සහාය ලබා දී, ආධාර අනුබල දී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.



සැකකාරිය රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීම අනුව, කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.ජී.පී. කරුණාරත්න මහතා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඊයේ (21) අවසර දුන්නේය. අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් විසින් සැකකාරිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවාය.මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණේ, මිරිස්සේ පදිංචි, අන්ද්‍රා හැන්නදිගේ හෂිනි සංජුලා නමැති, 21 හැවිරිදි තරුණියකි.
බස් රථය මිලදී ගැනීමට සහ මෙම ඝාතන කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට හවුල් වූ තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායම් කිහිපයක් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.