Sujeeva-goes-home-Mom's-happiest-marriage-was-with-Nayana-Vasula-says-Anjali

අතුරුගිරියේ සාප්පුවක වෙඩි ප්‍රහාරය නිසා ක්ලබ් වසන්ත සමග මියගිය අනෙක් තැනැත්තා නයන වාසුලයි. ගම්පහ මහානාම හිමියන් ලෙසින් මෙරටේ බොහෝ ජනාදරයට පාත්‍රව සිට පැවිදි ජීවිතය අත්හැර ගායන ශිල්පිනි කේ.සුජීවා සමග ඔහු විවාහ වී සිටියේය.
මෙම සිද්ධිය නිසා තුවාල ලැබූ කේ.සුජීවා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවද වාර්තා වෙයි.සැත්කම් කීපයකින් අනතුරුව සුජීවා මහත්මිය කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලැබුවාය.පාදයේ තුවාල යහපත් අතට පත්වීම හේතුවෙන් නිවසට ගොස් විවේකයෙන් ප්‍රතිකාර ලැබීමට වෛද්‍යවරු නිර්දේශ කර තිබේ. ඇගේ වැඩිමල් දියණිය වෙන අංජලී රාජ්කුමාර් එම සිදුවීමෙන් පසු ප්‍රථම වරට කාන්තා පුවත්පතකට අදහස් දක්වා තිබේ.

අංජලී, මේ වෙනකොට අම්මගේ තත්ත්වය කොහොමද?
මේ වෙනකොට අම්මා හෙමින් හෙමින් සුවය ලබමින් ඉන්නවා. හිටියට වැඩිය 5%ක විතර සුවයක් තියෙනවා. හරියට සුවවෙන්න තව ටික කාලයක් යයි.

අම්මට වෙඩි වැදිලා තිබුණේ කකුල් දෙකට නේද?
ඔව්. මුලින් නම් කකුල් කපන්නත් වෙයි කිව්වා. ඒත් අම්මා බලපු වෛද්‍යවරු ඒ තත්ත්වයෙන් කොහොමහරි අම්මව ගොඩගත්තා.



ඒත් එක්ක ඇයගේ සංගීත කටයුතු හැමදේම නැවතුණා නේද? අම්මා සංගීත ප්‍රසංග එහෙමත් බාර අරන් තිබුණද?

සංගීත කටයුතු නැවතුණා. ඒත් සංගීත ප්‍රසංග බාරඅරන් තිබුණද කියලා නම් කියන්න දන්නේ නෑ. සාමාන්‍යයෙන් මම, නංගි, අම්මා තුන්දෙනා එකටයි සංගීත ප්‍රසංගවලට යන්නේ. ඒත් අම්මා අන්තිම මොහොත වෙනකල් කියන්නේ නෑ. එයා අන්තිම
මොහොතෙයි කියන්නේ ඔයාලා අද කොහෙවත් යන්න එපා රෑට අහවල් දිහා ෂෝ එකක් කියලා.

ඇත්තටම අංජලී එදා අම්මාට වුණේ මොකක්ද?
එදා අම්මටත් අර ඕපනින් එකට එන්න කියලා ආරාධනා කරලා තිබුණා. අම්මා සාමාන්‍යයෙන් එහෙම දේවල් වලට යන කෙනෙක්. කවුරු වුණත් ආරාධනාවක් කළාම නොයන එක හරි නෑ කියන තැන එයා ඉන්නේ. ඉතින් එදත් ගියා. එතැනින් එහා කතාව කවුරුත් දැන් දන්නවනේ.



අපි දකින දෙයක් තමා අම්මා, ඔබ, නංගි තුන්දෙනාම ගමන් බිමන් යන්නේ එකට, හැබැයි එදා අම්මා ගිහින් තිබුණේ තනියම. ඒ මොකද?

ඇත්තටම එදා මමයි නංගිත් යන්න තමා හිටියේ. ඒත් ගියේ නෑ. හේතුව තමයි එදා උදේ 11.00 ඉඳන් අපේ අලුත් සිංදුවකට මියුසික් වීඩියෝ එකක් කරන්න දාගෙන තිබුණා. ඒ එක්ක වෙලාව ප්‍රශ්නයක් නිසා මං අම්මට කිව්වා 'අම්මේ අපි අද ඒකට නොගිහින් ඉමු' කියලා. පස්සේ එයා කිව්වා 'අපට විතරයි ඉන්වයිට් කරන්න ඇත්තේ ඉක්මනට ගිහින් ඔලුව දාලා එමු කියලා. ඒ අර කලින් කිව්වා වගේ අපේ අම්මගේ හැටි, ලොකුවටම පෞද්ගලික හැඳුනුම්කමක් නොතිබේබ්බා වුණත් එයා ඒ වගේ දේවල්වලට යනවා. කොහොම හරි එදා අර වැඩේ තිබුණු නිසා මම කිව්වා 'මං ගෙදර ඉන්නම්' කියලා. පස්සේ නංගිටත් අම්මා කිව්වා ' එහෙනම් ඔයත් නිදාගන්න මං ගිහින් ඉක්මනට එන්නම්’ කියලා. මං හිතන්නේ අපි දෙන්නා නැතිව අම්මා ඔය තනියම ගියාමයි.

ඒ ගිය අමිමට වෙඩි වැදුනා කියන ආරංචිය ලැබුණේ කොහොමද?
එදා ඒ සිදුවීම වුණේ 10.14ට නම් අම්මා 10.19ට වගේ කෝල් එකක් ගත්තා. ඒත් මං නිදාගෙන හිටිය නිසා කෝල් එක මං අතින් මග ඇරුනා. පස්සේ අම්මා නංගිට අරන්. එයා තමයි දුවගෙන ඇවිත් කිව්වේ 'අක්කේ නැගිටින්න අම්මට කවුරු හරි වෙඩි තියලා' කියලා. එතකොටම අම්මා ආයෙත් මට කෝල් කළා. පස්සේ කිව්වා 'අක්කා ඉක්මනට අතුරුගිරියේ අහවල් තැනට එන්න එතැන මෙහෙම ප්‍රශ්නයක් වුණා' කියලා.



ඒ කියන්නේ අම්මා අංජලීට කතා කරන්නේ 'අක්කා' කියලද?
ඔව්. අම්මා මට 'අක්කා කියන්නේ.

ඒ වෙලාවේ ඉතින් මොකද හිතුණේ?
මට මුකුත් හිතාගන්න බැරිවුණා. එහෙන් අම්මට වෙඩි වැදිලා. අරෙහෙන් අපේ තව සමීප කෙනෙක් නැතිවෙලා.

ඔබ සමීප කෙනෙක් කිව්වේ 'නයන වාසුල වෙන්න ඇති?
ඔව්. අම්මා විවාහවෙලා හිටියේ ඔහුත් එක්කනේ.

ඔබයි නංගියි ඒ හැමදේකටම හරී ශක්තිමත්ව මුහුණ දුන් හැටි දැක්කා. ඒ එක්ක ගොඩාක් අය කියලා තිබුණා කේ.සුජිවාට ඉන්නේ යකඩ වගේ කෙල්ලෝ දෙන්නෙක් කියලා?

ඒ වෙලාවේ අපට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. අපිට වෙන විකල්ප නෑ. අපිට හිටියේ අපි විතරයි. ඒක නිසා හිත හයිය කරගෙන හැම දේටම මුහුණ දුන්නා.

මේ සිදු වීමත් එක්ක ගොඩාක් අය අම්මටත් චෝදනා කරලා තිබුණා නේද?
ඔව් ලොකුම චෝදනාවක් වුණේ අම්මා පැවිදිවුණු කෙනෙක් අල්ලගත්තා කියන එකනේ. ඒක වැරදියි. ඔය සම්බන්ධය පටන්ගත්තේ එයා සිවුරු ඇරලා ගිහි ජීවිතේ ඉන්නකොට. ඒ දෙන්නා විවාහ වෙලා හරි සතුටින් හිටියා. මං හිතන්නේ අම්මා ජීවිතේ වැඩි පුරම සතුටින් හිටපු අවුරුදු කිහිපය ඒක වෙන්න ඇති. ඒකට හේතුව මිනිස්සු මේ වෙනකල්ම ඒ ගැන මුකුත්ම නොදැන හිටපු එක කියලයි මං හිතන්නේ.

ඒ චෝදනා කරන උදවියට ඇයගේ දියණිය විදියට කියන්න දෙයක් ඇති?
මං දන්නවා සමාජ මාධ්‍යවල පැතිරෙන බොරු ගොසිප්වලට රැවටිලයි ගොඩාක් අය අම්මට විවිධ චෝදනා කරන්නේ. ඒ අයට මං කියන්නේ අපි මෙච්චර අසරණ වෙලා ඉන්න වෙලාවක අපේ කිසිදෙයක් හරියට නොදැන හිතක් පපුවක් නෑ වගේ බොරු චෝදනා කරන්න එපා කියලා. මං අම්මා හින්දා කියනවා නෙවෙයි. එයා හරි හොඳ කෙනෙක්.

අවසාන වශයෙන් කියන්න, අමීමට ප්‍රසංග වේදිකාවට එන්න තව කොවිවර කාලයක් විතර යයිද?
ඒ ගැන කියන්න අමාරුයි. හැම දේකටම කලින් අම්මා ඇවිදින්න ඕන. ඒත් එක්ක තමයි අපිට ඒ දේවල් තීරණය කරන්න වෙන්නේ. ඉස්සරහට ඒ ගැන කියන්නම්.

(රුවන් එස් සෙනවිරත්න -ධරණී)