If-playing-for-Sri-Lanka-tattoos-necklaces-hair-earrings-are-not-allowed-Sanath-Jayasuriya

 ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අන්තර්ජාතික තරගවලට සහභාගි වීමට නම් පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැළඳ ක්‍රීඩා කිරීම අතහැර, කොණ්ඩය නිසි පරිදි කපා විනයක් ඇතිව පැමිණිය යුතු යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා ක්‍රීඩකයන්ට පවසා තිබේ. තමන් පුහුණුකරුවා වශයෙන් සිටින්නේ තාවකාලික පදනමකින් වුවත්, ජාතික ක්‍රීඩකයන් දෙස බලාගෙන ඔවුන්ව ආදර්ශයට ගනිමින් සිටින පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ද සිටින බැවින් “විනයක් ඇතුව අඳින්න පළඳින්න” ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පුරුදු පුහුණු විය යුතු බව ද සනත් ජයසූරිය මහතා ක්‍රීඩකයන්ට කියා තිබේ.




“අපි ලොකු දේවල් කරන්න හදන්නේ නෑ. ඒත් පොඩි පොඩි දේවල් වුණත් පිළිවෙළක් ඇතුව කෙරෙන්න ඕන"


“දැනට අපි කියලා තියෙන්නේ අන්තර්ජාතික තරග වලට එනකොට ඔය කොණ්ඩා මෝස්තර, කරාබු, පච්ච වගේ දේවල් ගෙදර තියල එන්න කියලයි" යයි සනත් ජයසූරිය මහතා පැවසීය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ වූයේ 2015 පමණ සිටය. ඒ කාලයේදී කණ්ඩායමට රිංගා ගත් කොණ්ඩා මෝස්තර, පච්ච කෙටීම් සහ කරාබු පැළඳීම් නිසා එක් එක් ක්‍රීඩකයන් මහත් සේ ජනප්‍රිය වූ නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බිංදුවටම වැටිණ.

2014 දී විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරිම් හඳුන්වා දුන් දිනයේ පටන් වසර දෙකකට ආසන්න කාලයක් අංක 1 ස්ථානය හිමිකරගෙන සිටි නමුත් මේ වන විට විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයට ඇදවැටී තිබේ. ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව අංක 7 ස්ථානයේ සිටි නමුත් ලබන වසරේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම හැලී ගොස් තිබේ.


ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් තම තමන්ගේ ප්‍රතිරූප ප්‍රවර්ධනයට මෙන්ම සමාජ ජාල ගිණුම් ප්‍රවර්ධනයට උත්සුක වනවා විනා තමන්ට පැවරී ඇති වගකීම ඉෂ්ඨ නොකරන ආකාරයක් පෙනෙන්නට තිබේ. අන්තර්ජාතික පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු 10 දෙනා අතර සිටින්නේ දිමුත් කරුණාරත්න (ටෙස්ට් - 9) සහ පැතුම් නිස්සංක (එක්දින- 8) පමණි. ඊයේ (24 වැනිදා) පෙරවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදීත් මේ සම්බන්ධයෙන් විමසීම් කෙරුණ නමුත් ජයසූරිය මහතා ඒ සම්බන්ධයෙන් පිළිතුරු දුන්නේ පරෙස්සමෙනි.
(දමින්ද විජේසූරිය)