Altair-Tragedy-Still-No-Answer-From-Pakistan-Friend-Crossing-Of-Ambassadorial-Powers

කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණ සම්බන්ධයෙන් තවම අවසන් නිගමනයකට එළැඹෙන්නට පරීක්ෂණ පවත්වන පොලිසියට හැකියාව ලැබී නැත.
මියගිය දිනයේ මෙම සිසු යුවළ තට්ටු නිවාස සංකීර්ණයට ඇතුළුවන්නේ ඉමාම් නමැති පකිස්තාන ජාතික මිතුරෙකුගේ නමක් කියාගෙනය. 61 වන මහලේ පදිංචිව සිටින බව කියන මෙම මිතුරාගේ පියා පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු බව පැවසේ.



එම නිවෙසේ පැවැත්වෙන සාදයකට යෑමට අවශ්‍ය බව කියමින් සිද්ධියවූ දිනයේ මහල් නිවාස ආරක්ෂකයන්ගේ අවසරය ලබාගෙන ඇතුළුවීමට මියගිය සිසු දෙන්නා උත්සාහ කළ අතර එම අවස්ථාවේ මිතුරු සිසුවා නිවසේ නැතිබව ආරක්ෂකයින් දන්වා තිබුණි. නමුත් එකී මිතුරා දුරකථනයෙන් පවසා ඇත්තේ මේ දෙන්නාව ඇතුළු කරගන්නා ලෙසය.
මෙම ගොඩනැගිල්ලේ සිටින මිතුරා හමුවීමට අවස්ථා කිහිපයකදීම සිසුන් දෙන්නා පැමිණ ඇති බැවින් ඒගැන මතකයද සමග ඔවුනට අවසරය හිමි විය.


ඉමාම් නමැති සිසුවා මියගිය සිසුවා සහ සිසුවිය ඉගෙනුම ලබන කොළඹ CSI ජාත්‍යන්තර පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබන්නෙකි. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගන්නට උත්සාහ කර ඇතත් සිද්ධියෙන් දින ගණනාවක් ගතව ඇතත් එය කරන්නට බැරිව ගොස් තිබේ.
තානාපති වරප්‍රසාද දක්වමින් එම නිවසට කිසිවෙකුට ඇතුළු කරනොගන්නා ලෙස ආරක්ෂකයින්ට දන්වා තිබීම එයට හේතුවයි. මේ නිසා පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් මේ කටඋත්තරය ගන්නට අධිකරණයේ පිහිට පතා තිබේ.
පාකිස්තාන සිසුවාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය ඔහුගේ නිවසට ගියත් එම සිසුවාගේ පියා පාකිස්තාන මහා කොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලධාරියකු වූ නිසා එයට අවස්ථාවක් නොලැබුණු බවද කොම්පඤ්ඤවීදිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා වෙත දන්වා තිබුණි.

එහිදී කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා කියා සිටියේ, අදාළ පුද්ගලයාට තානාපති වරප්‍රසාද තිබේදැයි සොයා බලා තිබේ නම් අදාළ පනත අනුව කටයුතු කරන ලෙසයි.

සිද්ධිය වූ දා ඉමාම්ගේ නිවසේ එවන් සාදයක් පැවැති බවට තොරතුරක් පොලිසිය සතුව නැත. එහෙත් මොවුන් එදින සිය නිවෙසට පැමිණෙන බව එම විදේශීය තරුණයා දැන සිට ඇති බවද ඒ බව ගොඩනැඟිල්ලේ ආරක්ෂකයන්ට ඔහු දන්වා තිබූ බවද විමර්ශනවලදී හෙළි වී තිබේ.



කෙසේ වෙතත් මොවුන් එම නිවාස සංකීර්ණයට එදින එන බව ඔවුන්ගේ මවුපියන් දැන සිටියේද නැත. මියගිය සිසුවිය රෝස්ගේ මව දියණිය පාසල, නිමවී නිවෙසට නොපැමිණීම ගැන බියට පත්ව ඇය සොයා ඇති අතර ඇගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්තද එය විසන්ධි කර තිබූ බව වාර්තා වේ.

ඒ අනුව සිසුවියගේ පියා වෙත ඒ ගැන දැනුම්දීමෙන් පසුව පියා තම දියණියගේ සමීප මිතුරු මියගිය සිසුවා අමතා අසා ඇත්තේ දුව එක්ක කොහේ හරි ගියාද ලෙසිනි. මියගිය සිසුවා කලබලයට පත්වී තමා ළඟ ඇය නැති බව පවසා ඇතත් නීතීඥයෙකුවූ සිසුවියගේ පියා මෙම උත්තරය සැකයෙන් භාරගෙන තිබේ. ඔහු සිසුවා බියවද්දා පවසා ඇත්තේ ඇත්ත කියන්න නැතිනම් පොලිසියට දන්වන බවය. මෙම ‍බහින්බස්වීමෙන් ටික වේලාවකට පසු සිසු යුවළ බිමට පතිත වීම සිදු විය.
මෙම සංවාද සිදුවූ අවස්ථා හා ආකාරය ගැන පැහැදිලි කරගැනීම සදහා ඔවුන්ගේ ජංගම දුරකථනද නිලධාරීන් නිරීක්ෂණය කර තිබෙන අතර මෙහිදී මියගිය සිසුවිය උස් ස්ථානවලට ගොස් ඡායාරූප ලබාගැනීමට දැඩි රුචිකත්වයක් දක්වා ඇති බවකි. ඇගේ ජංගම දුරකථනයේ එවන් ඡායාරූප කිහිපයක්ම තිබූ බවද කියයි. ඒ අනුව පොලිසිය සැක කරනුයේ මොවුන් 67 වැනි මහලට ගොස් එවැනි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන් පහළට ඇද වැටුණේද යන්නයි.
මේ අතර පොලිසියේ ඉල්ලීම අනුව ජංගම දුරකතනවල ඇතුළත් කර තිබූ සිම් කාඩ්පත්වලට අදාළ දුරකතන ඇමැතුම් දත්ත වාර්තා කොම්පඤ්ඤවීදිය පොලිසියට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අදාළ දුරකතන සේවා සපයන සමාගම්වලට නියෝග කරන ලදි.