ප.ව. 9.00
‘සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන අගොස්තු මස 4 වැනිදා පස්වරුවේ පැවැත්වෙන විශේෂ සම්මේලනයේදී ප්‍රකාශ කරන බවත් සන්ධානය නියෝජනය කරන පක්‍ෂයක  නායකයකුගේ නමක් ඉදිරිපත්වන බවත් දන්වා තිබේ.
දිලිත් ජයවීර , විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,මහාචාර්ය චන්න ජයසුමන ,ගෙවිඳු කුමාරතුංග ඇතුළු නායකයින් මෙම සන්ධානය නියෝජනය කරයි.
ප.ව. 8.00
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ හමුවක් අද (26) දිනයේදී අතුරුගිරියේ පිහිටි නිදහස් පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ පැවති අවස්ථාවට ත්‍රිරෝද රථයකින් පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ මැතිවරණ නීති ක්‍රියාත්මක වී තිබෙන හෙයින් එම නීතිවලට ගරු කරමින් රජයේ වාහන භාවිතා නොකර තමා මෙලෙස ත්‍රිරෝද රථයකින් පැමිණි බවයි. මෙම ආසන සංවිධායකවරුන්ගේ විශේෂ හමුව සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂද සහභාගි විය.
ප.ව. 7.40
ජනපතිවරණය කැඳවූ විගස නාමයෝජනා ලබාදුන් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ අද (26) දිනයේම ෆේස් බුක් ලයිව් ඇවිත් සිය ප්‍රචාරක වැඩසටහන දියත් කලේය. තරුණ කන්ඩායමක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අදහස් පළ කර තිබුණි. වැඩි විස්තර මෙතැනින්
ප.ව. 7.00
ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි.
නමුත් ප්‍රධාන අපේක්ෂකයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව ඔහු අද දින කීවේය.
ප.ව. 6.00
ඊයේ දිනයේදී එජාප සභාපති වජිර අබේවර්ධන මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඇවිත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන ලෙස පිංසෙණ්ඩු වූ බව උදයංග වීරතුංග මහතා අද දින පවසා තිබේ.
සදුදා දිනයේදී අනිවාර්යයෙන්ම පොහොට්ටුව මුණගැසී ධම්මික පෙරේරා මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය කරන බව ඔහු කියා සිටියේය.

ප.ව. 5.00
ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයින් සිව්දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව දැනුම් දී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ (ස්වාධීන), සරත් කීර්තිරත්න(ස්වාධීන) ට අමතරව ඕෂල හේරත් (අභිනව නිවහල් පෙරමුණ) සහ ඒ. එස්. පී. ලියනගේ (ශ්‍රී ලංකා කම්කරු පක්ෂය) යන අයද ඇප මුදල් තැන්පත් කර ඇත.


ප.ව. 4.10
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයට එක්ව තිබේ. ඔහු සජබ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් පත්කිරීමට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇති අතර ළ පත්වීම් ලිපිය අද (26) පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතා විසින් කුමාරසිරි හෙට්ටිගේ මහතාට පිරිනමන ලදී.


ප.ව. 4.00
ජාතික ජන බලවේගයෙන් ඉවත් වු බව සමාජ සාධාරණ පක්ෂයේ නායක නජා මොහොමඩ් පවසයි
ඔහු මේ බව පැවසුවේ අද (26) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඔහු කියා සිටියේ පක්ෂයක් විදිහට සිය පක්ෂය සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටි නමුත් එය ලබා දීමට ඔවුන් මඟ හැරි බවයි.
තවදුරටත් ජාතික ජනබලවේගය සමඟ අත්වැල් බැඳ ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව හෙතෙම කීය.

ප.ව. 3.20
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා  ජනාධිපතිවරණයට අදාළව පැමිණිල්ලක් කර තිබෙන අතර අනියමින් ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපති බලය භාවිත කර රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් බරපතල ලෙස අවභාවිත කරන බවත් ඒ සම්බන්ධයෙන් ඊයේ (25) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සහ මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බවත්  මෙවැනි අනර්ථයන් කිරීමට කිසිවෙකුට බලයක් නොමැති බවත් අද (26) උදෑසන මාදිවෙල පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කීය.

ප.ව. 3.00
රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) නියෝග කළේය.
හිටපු සිරකරුවකු වන සුදේශ නන්දිමාල් ද සිල්වා මහතා ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

ප.ව. 2.00
ජනාධිපතිවරණය පැවැත්වීම පිලිබඳ අද (26) පෙරවරුවේ නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින බව රජයේ මුද්‍රණාලය පවසයි.
රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය කියා සිටියේ, ඊට අදාළ සියළු මූල්‍ය ප්‍රතිපාදන රජයේ මුද්‍රණාලය සතුව ඇති බවයි.

ප.ව. 1.00
ජනසෙත පෙරමුණේ ලේකම් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද (26) ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත පැමිණියත් ඇප මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය රු 50000 මුදල් උන්වහන්සේ ගෙනවිත් නොමැති  නිසා ඇප මුදල තැන්පත් කිරීමට එළඹෙන සඳුදා දින රැගෙන පැමිණෙන බව මාධ්‍ය වෙත දන්වා පිටව ගියේය.

ප.ව.12.00
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක  මහතා විශේෂ මාධ්‍ය හමුවකින් අද දින සිට මැතිවරණ නීති රීතී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ සහ මැතිවරණ පනතට අනුව ක්‍රියාත්මක වන බවත් කිසිවෙකුගේ නීතියට, ඉල්ලීමකට හෝ බලපෑමකට හිස නොනමන බවත් කීය.
ඔහු කියා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණක් පැවැත්වීම සඳහා සියළු අපේක්ෂකයින්ද අදාල නියෝග පිලිපදින ලෙසය.
එමෙන්ම මැතිවරණ සංවිධාන කටයුතු සියළු දේ සිදු කෙරෙමින් පවතින බව හෙතෙම කියා සිටියේය.
දැනට මැතිවරණ සම්බන්ධීකරණ කරන මැතිවරණ කටයුතු සම්බන්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ අදාල කටයුතු සිදු කරන බවද  ඉදිරියේදී පත්වන පොලිස් පතිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.

පෙ.ව. 11.00
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සරත් කීර්තිරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

පෙ.ව.10.00
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා පිළිබඳ තවත් දින තුනක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසා සිටියේ අලුත්ගම ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජනතාව තුළ විශ්වාසයක් ඇති සහ රටට ආදරය කරන පුද්ගලයෙකු සිය පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන බවයි. වැඩි විස්තර මෙතැනින්

පෙ.ව. 9.30
ජාතික ජනබලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර අද (26දා) සිට පැය 24 පුරා ක්‍රියාත්මක වේ. ඒ අනුව අංක: 27 ඒ, දකුණු වටරවුම් පාර, ජයන්තිපුර, බත්තරමුල්ල ලිපිනයේ එම මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර, 0112 796388, 071 435 6301, 0777 307409 යන දුරකථන අංක ඔස්සේ හා bmc@npp.lkයන විද්‍යුත් ලිපිනය ඔස්සේ ඊට සම්බන්ධ විය හැකිය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් පූර්ව මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු රැස්කිරීම සහ මැතිවරණ ක්‍රියාවලියට බාධා වන සියලු කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම හා අවශ්‍ය වූ විටෙක අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවීම මෙම මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය හරහා සිදු කිරීමට නියමිතය. වැඩි විස්තර මෙතැනින්

පෙ.ව. 9.00
ජනපතිවරණය සඳහා පළමු ඇප මුදල් තැන්පත් කළ පුද්ගලයා බවට වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ නම් කෙරිණි.
ඔහුගේ නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා රාජගිරිය මැතිවරණ කාර්යාලයට පැමිණ රු 75000 බැඳ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයෙකු ලෙස අයදුම් කළේය. වැඩි විස්තර මෙතැනින්

පෙ.ව. 7.35
මැතිවරණ කොමිසම නිකුත් කළ දෙවන ගැසට් නිවේදනය මගින් නාමයෝජනා කොන්දේසි සඳහන් ගැසට් පත්‍රයක්ද ප්‍රකාශ කර තිබෙන අතර එහි සඳහන් වන්නේ පිලිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු නම් මුදලින් රුපියල් 50000 ක් හා ස්වාධීන අපේක්ෂකයෙකු නම් මුදලින් රුපියල් 75000 ක්ද ගෙවා ඇප මුදල් තැන්පත් කළ යුතු බවයි. වැඩි විස්තර මෙතැනින්

පෙ.ව. 7.30
ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වැනිදා සෙනසුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කරමින් ගැසට් නිවේදනය උදෑසන පළ විය. නාම යෝජනා කැදවීම අගෝස්තු මස 15 වැනිදා සිදු කරන්නේ
රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී බවත් ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වැනිදා සෙනසුරාදා පැවැත්වීමට නියමිත බවත් එහි දැක්වේ. වැඩි විස්තර මෙතැනින්