Legal-arguments-from-the-government-to-continue-Deshbandu-despite-Supreme-Court-orders

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හෙට (26) උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරනු ලබන බව අද දන්වා තිබේ.
අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කරන ප්‍රකාශයේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් කීමට නියමිත බව වාර්තාවේ.


පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අනුව පොලිස්පතිවරයාට ලබාදී ඇත්තේ "වාරණ නියෝගයක් පමණක්" බවත් පොලිස්පති තනතුර හිස්වී නොමැති බවත් ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී ඇති බව  ජනාධිපතිවරයාට සම්බන්ධ රජයේ ආරංචි සවස වාර්තා කර තිබුණි.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නොමැති බැවින් අදාළ නීති ගැටලුව විසඳා ගන්නා තුරු පොලිස්පති ධුරය එලෙස තබන්නට අගමැති හෙට දන්වන බව වාර්තාවේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ඔහු පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කරමිනි.


මාස තුනහමාරකින් පසු පෙත්සම් විභාගය නිමවන තෙක් පොලිස්පති ධුරය සඳහා නීත්‍යනුකූලව සුදුසු පුද්ගලයෙකු පත්කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට නියම කළේය.
එම නියෝගය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට බැරි නිසා පොලිස්පති දිගටම තනතුරේ තබාගන්නට රජය තීරණය කර තිබෙන අතර මේ හේතුවෙන් විධායකය හා අධිකරණය අතර ගැටුමක් නිර්මාණය වන පසුබිමක් මතුව තිබේ.