boralesgamuwa-incident

බොරලැස්ගමුව, පිළියන්දල පාරේ කෙළිමඬල උද්‍යානය ආසන්නයේ අවන්හලක් තුළදී කාන්තාවන් දෙදෙනෙකුට උසුළු විසුළු කිරීමේ සිද්ධියක් මුල් කරගෙන පුද්ගලයන් දෙදෙනකුට පහරදී තුවාල කර පලාගිය පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 8කට පසු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

එලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ සැකකරුවකු හැඳ සිටි ටී ෂර්ටයේ සටහන්ව තිබූ ආයතනයක නමක් අන්තර්ජාලය ඔස්සේ පරික්ෂා කර හඳුනාගැනීමෙන් අනතුරුවය. ඉකුත් 25 වැනි දින රාත්‍රී පහර කෑ පුද්ගලයන් දෙදෙනා එම අවන්හලේ එක මේසයක මත්පැන් පානය කරමින් සිට ඇති අතර සැකකරුවන් පස්දෙනා කාන්තාවන් දෙදෙනකු සමඟ ඊට යාබද මේසයේ මත්පැන් පානය කර සිට ඇතැයි පොලිසිය කියයි.




පහර කෑ දෙදෙනා යාබද මේසයේ සිටි කාන්තාවන් දෙදෙනාට උසුළු විසුළු කර ඇති අතර එලෙස නොකරන ලෙස සැකකාර පස්දෙනා එම දෙදෙනාට පවසා ඇති අතර මඳ වේලාවකදී නැවතත් ඒ ආකාරයෙන් උසුළු විසුළු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.එම අවස්ථාවේදී සැකකරුවන් එම ස්ථානයට පැමිණ උසුළු විසුළු කළ දෙදෙනාට කනට පහරදීමත් සමඟම දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ඇති වී අවන්හලේ දේපළවලට ද අලාභ වී ඇතැයි පොලිසිය කියයි.


පහර දුන් අය අවන්හලේ දේපළට වූ අලාභය වෙනුවෙන් රුපියල් 25000 ක් ගෙවා එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ අතර පහර කෑ දෙදෙනාගෙන් අයකු පොලිසියට පැමිණ පැමිණිලි කර තිබූ අතර අනෙක් පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් වූ බව පොලිසිය කියයි.ලද පැමිණිල්ල අනුව බොරලැස්ගමුව



පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් 74137 බණ්ඩාර මහතා විමර්ශන පවත්වා අවන්හලේ සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේ දී පුද්ගලයකු හැඳ සිටි ටී ෂර්ටයේ ආයතනයක නමක් සඳහන්ව තිබීමෙන් අනතුරුව එම නම අන්තර්ජාලය ඔස්සේ පරික්ෂා කිරීමෙන් අනතුරුව එය අතුරුගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් බවට හඳුනාගැනීමට හැකි වී ඇත.ඒ අනුව සිදු කරන ලද දැනුම්දීමකට අනුව එම සැකකරුවන් පොලිසියට ගෙන්වා කළ වරද පහදා දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවෝ මිරිහාන හා ගල්කිස්ස පදිංචිකරුවෝ වෙති.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ