bus-fair-reduced

බස් ගාස්තු ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 5.07 කින් පහළ දමනු ලැබීය.ඒ අනුව රුපියල් 30 ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 28 දක්වා රුපියල් 2 කින් අඩුවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසීය.

මෙයට අමතරව රුපියල් 38ක් වූ බස් ගාස්තුව රුපියල් 36 දක්වාත්, රුපියල් 50 ක්ව පැවැති ගාස්තුව රුපියල් 47 දක්වාත් රුපියල් 61ක්ව පැවති ගාස්තුව රුපියල් 58 දක්වාත්, රුපියල් 73ක්ව ගාස්තුව රුපියල් 69 දක්වාත්, 1 අඩුවන බව වෙල්ගම මහතා පැවසීය. ඊට අමතරව 84ක්ව පැවැති ගාස්තුව 80 දක්වාත් 96ක්වූ ගාස්තුව 91 දක්වාත් 99 ක්ව පැවති ගාස්තුව 94 දක්වාත් අඩුවන බවද සඳහන් කළේය.



එමෙන්ම 2388 ක්ව පැවැති උපරිම ගාස්තුව රුපියල් 2267 ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.මෙම අඩුවීම ලංගම සහ පෞද්ගලික සාමාන්‍ය බස්රථ සියල්ල සඳහාම ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය. 2002 කැබිනට් පත්‍රිකාවට අනුව පෞද්ගලික බස් සංගම් සමග පැවැති එකඟතාව යටතේ ජූලි වැනිදාට කරන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තු මෙසේ සංශෝධනය කළ බව සභාපතිවරයා කීය. ඒ අනුව දිවයින පුරා ධාවනය වන ලංගම සහ පෞද්ගලික සාමාන්‍ය සේවා බස් රථ, අන්තර් පළාත් බස්රථ, පළාත් බස්රථ සහ ගම්බද ප්‍රදේශවල ධාවනය වන ගැමි සැරිය සහ පාසල් දරුවන්ගේ සිසු සැරිය ආදී බස්රථ සේවාවල ගාස්තු මෙසේ අඩු කෙරෙනු ඇත.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරුන්ට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයාට බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇතැයි ද ඔහු පැවැසීය.

එසේම සෑම බස් රථයක ම මෙම මිල අඩුකිරීම ප්‍රදර්ශනය කරන ලෙසද දැනුම් දී ඇතැයි සභාපතිවරයා කීවේය.මෙම බස් ගාස්තු අඩු කිරීම ලබා නොදුනහොත් ඒ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1955 ට පැමිණිලි කරන ලෙස හෙතෙම මගී ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.ගාස්තු අඩුවීම නොදෙන බස්රථ පරීක්ෂා කිරීමට ජංගම පරීක්ෂක මහත්වරුන් ශ්‍රී ලංකාවම ආවරණය පරිදි යොදවා ඇති බවද ඔහු පැවසීය.

නිමල කොඩිතුවක්කු