cab-trinco-murder

පුද්ගලයෙකුව ඝාතනය කර කැබ් රථයක් තුළට දමා පුළුස්සා ඇති  සිදුවීමක් ත්‍රීකුනාමලයෙන් වාර්තාවේ.
ඊයේ (13) උප්පුවේලි පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී හෙළිවී ඇත්තේ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ ඇලස්වත්ත, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි එළවළු වෙළෙඳසල් හිමියකු වන සෙල්ලයියා ජයරූබන් (අවු. 42) නමැත්තකු බව හදුනාගෙන තිබේ.
 පසුගිය 12 වැනිදා  රථය සමඟ අතුරුදන් වූ බව කියන එකී පුද්ගලයාගේ වාහනය අලුයම 2.40 ට පමණ විල්ගම් විහාරය ප්‍රදේශයෙන් ඔබ්බට මොරවැව ප්‍රදේශයට යමින් සිටි බව අනාවරණය වී ඇති අතර ඉන් අනතුරුව පරීක්ෂණ පවත්වා තිබේ.


අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් අවුරුදු 24ක් වයසැති කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිව සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා නිලාවේලී පාර ඇලස්වත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු තවත් දෙදෙනෙකු සමඟ වෙළෙඳසැල තුළ සිටිය දී සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ මෙම පුද්ගලයාට පහරදී ඔහුව ඔහුගේම කැබ් රථය ද සමඟ පැහැරගෙන ගොස් තිබෙයි.
පසුව ඔහුව ඝාතනය කර දේහය මොරවැව ප්‍රදේශයේ කැලෑබද ස්ථානයකට ගෙන ගොස් කැබ් රථයට තුළ ට දමා පුළුස්සා ඇත.
ඝාතනයට යොදා ගත් බවට සැකකරන පොල්ලක් සොයාගෙන ඇති අතර උප්පුවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.